මෛත්‍රීට, හේමසිරිට, පූජිතට පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ සදහන් නිර්දේශ

Share

පාස්කු ඉරුදින ප්‍රහාර මලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

 

එහි අන්තර්ගත නිගමන අනුව,

30 පරිච්ඡේදය 08 වන නිගමනය.

රිෂාද් බදියුදීන් මහතා සම්බන්ධයෙන් 22 වන පරිච්ඡේදයේ දක්වා ඇති තඹ කර්මාන්ත ශාලාවට අදාල කරුණු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණය කිරීමේ කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු කාරණයක් බව කොමිෂන් සභාව හදුනා ගෙන තිබේ.

30 පරිච්ඡේදය – 06 වන නිගමනය.

2021 අපේ‍්‍රල් 21 වන දින සිදුවීම සදහා මූලිකව හේතුවන්නේ වහබ් දෘෂ්ටිවාදය සහ තවුහිද් කණ්ඩායම් ශ‍්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් SLJI සහ ශ‍්‍රී ලංකා ජමාතේ ඉස්ලා ම් ශිෂ්‍ය ව්‍යාපාරය SLJISM වැනි කණ්ඩායම්ද – ජාත්‍යන්තරව අයි.එස් සංවිධානයේ කි‍්‍රයාකාරකම් සහ දේශීය වශයෙන් බොදු බල සේනා සංවිධානය වැනි අන්තවාදී කණ්ඩායම්වල කි‍්‍රයාකාරකම් මෙම සිදුවීම සදහා දායක වූ බව පරීක්ෂණ කොමිසන් සභාව නිගමනය කෙරේ.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරිම සම්බන්ධයෙන් සලකා බැලීමට, ඒ පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව නිර්දේශ කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ් ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණුවලට අදාළවයි.

2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එම වසරේ සැප්තැම්බර් මස 21 වනදා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබීය.

කොමිසමේ අවසන් වාර්තාවෙන් පුද්ගලයින් පිරිසකට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම පිළිබඳ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට නිර්දේශකර තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ නඩු පැවරීම සම්බන්ධයෙන් සලකාබැලිය යුතු බවට කොමිසම නිර්දේශ කර ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2019 අප්‍රේල් මස 16 වනදා සිට 21 වනදා දක්වා ඉන්දියාවට හා සිංගප්පූරුවට යන අවස්ථාවේ දී ආරක්ෂක අමාත්‍ය ධුරය සඳහා කිසිදු වැඩබලන පත්වීමක් ලබා නොදීම හා ප්‍රහාරය පිළිබඳව දැනුවත්භාවයක් සහිතවම කටයුතු සිදුකිරීම තුළින් චේතනාන්විතවම සහරාන්ගේ අයි.එස් තර්ජනයට මඟපෑදූ බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන බවත් කොමිසම නිර්දේශ කර තිබේ.

හේමසිරි ප්‍රනාන්දු මහතා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස සිය රාජකාරී ඉටු කිරීමේ දී ධනාත්මක හා ඵලදායී පියවර ගැනීමට අපොහොසත් වී ඇති අතර පූජිත් ජයසුන්දර මහතා, සහරාන්ගේ පසුබිම, වර්ධනය හා හැසිරීම් සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි වාර්තා සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පරිදි කටයුතු කිරීමට හා රටේ පොලිස්පතිවරයා ලෙස තීරණාත්මක පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව කොමිසම පෙන්වාදී ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවෙකු සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා දුරකථනයෙන් අමතා සහනයක් ලබාගැනීමට උත්සහ කරඇති බවට රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී ඇති අතර ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් ද විමර්ශන සිදුකළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බව වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම සිදුවීමේ දී හුදෙක් පණිවුඩකරුවෙකු ලෙස පමණක් කටයුතු කරමින් සිය රාජකාරිය ඉටුකිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ද කොමිසම නිර්දේශකර ඇත.

මේ අතර බෞද්ධ සහ වෙනත් ආගමික සංවිධාන පිළිබඳ සිදුකළ අධ්‍යයනයට අනුව බොදු බල සේනා සංවිධානය තහනම් කළ යුතු බවට කොමිසම නිර්දේශ කරඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත ප්‍රකාරව අපරාධ නඩු පැවරිය හැකි ද යන්න සලකාබැලීම සඳහා උන්වහන්සේ විසින් 2013 හා 2014 වසරවල මහරගම හා අළුත්ගම යන ප්‍රදේශවල සිදුකළ කතා නීතිපතිවරයා විසින් සලකාබැලිය යුතු බව  කොමිසන් සභාවේ තවත් නිර්දේශයක් ලෙස දැක්වේ

වහබ්වාදය හා වහබ්වාදී විද්වතුන් විසින් සිදුකරන ඉගැන්වීම් සහ ප්‍රකාශන තහනම් කළ යුතු බවත් සියලුම තවුහිද් සංවිධාන, වහබ්වාදී සංවිධාන වන බැවින් ඒවා ද තහනම් කළයුතු බවත් කොමිසමේ නිර්දේශ අතරට අයත් වෙයි.

Read more

Local News