විදුලි කාර්මිකයින්ට ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය සුදුසුකම් ලබාදීමට පියවර

Share

මෙරට විදුලි කාර්මික ක්ෂේත්‍රයේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමේ අරමුණින් විදුලි කාර්මිකයින්ට ජාතික හා ජාත්‍යන්තර පිළිගත් වෘත්තීය සුදුසුකම නොමිලේ ලබාදීම සඳහා රජය පියවර ගෙන ඇත

 

මේ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, වෘත්තීය පුහුණු අධිකාරිය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන රාජ්‍ය ආයතන ත්‍රිත්වය ඊයේ  (23) දින නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේදී සිදුවිය

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය ඇමැති විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙන් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු උදේනි වික්‍රමසිංහ මහතා, වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා සහ මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා  විසින් මෙම අත්සන් තැබීම සිදුකරන ලදී.

මෙරට විදුලි කාර්මිකයින් 45,000ක පමණ පිරිසක් මේ වන විට වෘත්තීයෙහි නියැලෙන බවට ඇස්තමේන්තු කර තිබේ.

නමුත් ඔවුන්ගෙන් 85% කට සිය වෘත්තිය සම්බන්ධයෙන් පිළිගත් අධ්‍යාපන හෝ වෘත්තීය සුදුසුකමක් නොමැති බවද අනාවරණය වී ඇත.

මෙම ගැටළුවට පිළියමක් වශයෙන් නොමිලේ ජාතික වෘත්තීය සුදුසුකම NVQ Level 3  ලබා දීමට මෙම රාජ්‍ය ආයතන ත්‍රිත්වය කටයුතු කර තිබේ.

ඒ අනුව මෙම අවබෝධතා ගිවිසුම මගින් විදුලි කාර්මික ශිල්පී පාඨමාලා සඳහා වැයවෙන පාඨමාලා ගාස්තු හා පරීක්ෂණ ගාස්තු ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් දරනු ලැබේ.

මේ වැඩසටහනේ මුල් අදියරේදී දිස්ත්‍රික්කයකට විදුලි කාර්මිකයින් සිය දෙනෙකුට විශේෂ සිව්දින වැඩසටහන යටතේ පුහුණුව ලබාගෙන NVQ 3 මට්ටම ලබාගැනීමට පහසුකම් සැලසෙන අතර මුල් අදියරේදී විදුලි කාර්මිකයින් 2400කට NVQ 3 පිරිනැමීමට සැලසුම් කර ඇත.

විදුලි කාර්මික බලපත්‍ර ක්‍රමය අනුව ශ්‍රේණි 6ක් යටතේ විදුලි කාර්මිකයා වර්ග කර බලපත්‍ර පිරිනමනු ලැබේ. රැහැන්කරු, ආධුනික විදුලි කාර්මික ශිල්පි, කණිෂ්ඨ විදුලි කාර්මික ශිල්පී, ජ්‍යෙෂ්ඨ විදුලි කාර්මික ශිල්පී, ප්‍රධාන විදුලි කාර්මික ශිල්පී සහ විශේෂඥ විදුලි කාර්මික ශිල්පී යන ශ්‍රේණි 6 ඔස්සේ විදුලි කාර්මිකයාට උසස්වීම් ලබාගැනීමට හැකි වේ.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට නිපුණතා අමාත්‍යාංශයේ ලේකම් පද්මා රාජපක්ෂ මහත්මිය ඇතුලු රාජ්‍ය  නිලධාරීන් පිරිසක් සහභාගී විය.

Read more

Local News