හම්බන්තොට පාපන්දු ලීග් තරගාවලිය හෙට

Share

හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා පදනම පළමු වරට සංවිධාන කරන හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාපන්දු ලීග් තරගාවලිය හෙට (17) පස්වරු 3.30ට තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියම්තයි.

 

දිස්ත්‍රික්කයේ දක්ෂතම පාපන්දු කණ්ඩායම් 5ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලිය මාස එකහමාරක කාලයක් තුළ හම්බන්තොට නගර සභා ක්‍රීඩාංගණය, තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය හා බෙලිඅත්ත ඩී.ඒ. රාජපක්ෂ ක්‍රීඩාංගණය කේන්ද්‍ර කර ලෙන පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ තරගාවලියේ අවසන් මහා තරගය ලබන මස 28 වැනිදා තංගල්ල මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක ධාරා මැද පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

තංගල්ල ලා ටැංගෝලියන්ස්

බෙලිඅත්ත පාපන්දු සමාජය

අම්බලන්තොට පාපන්දු සමාජය

හම්බන්තොට වයිට් ටයිගර්ස් ක්‍රීඩා සමාජය

කිරින්ද තරුණ තරු ක්‍රීඩා සමාජය මේ තරගාවලියට එක්ව සිටිති.

තරගාවලියෙන් අනතුරුව දස්කම් දක්වන ක්‍රීඩකයන් 25ක් තෝරා හම්බන්තොට දිස්ත්‍රික් පාපන්දු සංචිතය නිර්මාණය කිරීමට හම්බන්තොට දිස්ත්‍රික් ක්‍රීඩා පදනම බලාපොරොත්තු වේ.

මේ ආකාරයෙන් ඉදිරියේදී සෑම දිස්ත්‍රික්කයකම ක්‍රීඩා කිහිපයක ක්‍රීඩා සංචිතය නිර්මාණය කිරීමට කටයුතු යොදන බව මේ තරගාවලිය පිළිබඳ ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවට එක් වූ ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

“ආරම්භයක් හැටියට දිස්ත්‍රික්කයේ ඕනෑම ක්‍රීඩකයකුට මේ තරගාවලියට ක්‍රීඩා කළ හැකියි. මේ සියලු තරගවලින් ක්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂා කරන්නේ ජාතික තලයට ක්‍රීඩකයන් සොයා ගැනීමටයි. ජාතික මට්ටමේ හෝ පළමු පෙළ ප්‍රීමියර් ලීග් ක්‍රීඩකයන්ට තවත් තරගාවලියක් දීම මෙයින් අපේක්ෂා කරන්නේ නෑ. ගමේ ඉන්න දරුවාට ජාත්‍යන්තරයේ අවධානය යොමු කර ගන්නා තරගාවලියක් ඇති කරන්නයි අපේ අරමුණ. ගමේ ක්‍රීඩකයා උඩට ගන්න ඕනෑ දවසක ජාතික තලයට හෝ ප්‍රීමියර් ලීග් පළමු පෙළ දක්වා යන්න. මේ දිස්ත්‍රික් තරගාවලියේ අපේක්ෂාව කිසිම තරගාවලියකට සෙල්ලම් කරන්න අවස්ථාව නැති දරුවන්ට හොඳ තරගාවලියක් දී ඔවුන්ගේ හැකියාව ජාතික තලයට ගන්න එකයි” ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මේ මාධ්‍ය හමුවේදී කණ්ඩායම්වලට නිල ඇඳුම් ප්‍රදානය ඇමැතිවරයා අතින් සිදු වූ අතර, එම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ද එක් විය. තංගල්ල ලා ටැංගෝලියන්ස් පිලට මියාමි එක්ස්පෝට් ආයතනයේ අනුග්‍රහය හිමි වූ අතර, බෙලිඅත්ත පාපන්දු සමාජයට ටෙන් සෙටර්ස් ආයතනය, අම්බලන්තොට පාපන්දු සමාජයට ට්‍රිපල් හෝල්ඩිංග්ස් ආයතනය, හම්බන්තොට වයිට් ටයිගර්ස් ක්‍රීඩා සමාජයට මාස් ඇක්ටිව් ආයතනය හා කිරින්ද තරුණ තරු ක්‍රීඩා සමාජයට රෙඩ් බොක්ස් ගාමන්ට් ආයතනය අනුග්‍රහය දී ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සභාපති අනුර ද සිල්වා මහතා තරගාවලියට විනිසුරුවන් පාපන්දු සම්මේලනය මඟින් දීමට සූදානම් බව පැවසීය. හම්බන්තොට ක්‍රීඩා සංවර්ධන පදනමේ ලේකම් වෛද්‍ය චානක විජේතුංග, සංවිධායක නිශාන්ත ජයසිංහ හා භාණ්ඩාගාරික නලීන් හේමන්ත යන මහත්වරු ද මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

Read more

Local News