කාන්තා කටයුතු සහ සැලසුම් වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුරක් – අගමැති

Share

ඉදිරියේ දී කාන්තා කටයුතු සහ සැලසුම් වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුරක් ඇති කිරීමට බලාපොරොත්තු වන බවත් වනිතා කටයුතු අමාත්‍යාංශය, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය එකට එක්වී සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත කාන්තා කටයුතු වෙනුවෙන් සංවර්ධන සහකාර තනතුරක් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) අරලියගහ මන්දිරයේ පැවැති කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් හමුවීම සහ විවාහ රෙජිස්ටාර්වරුන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
“දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුළ කාන්තා සැලසුම් හා  වැඩ කටයුතු සම්බන්ධයෙන් අඩුවක් දක්නට ලැබෙනවා. නමුත් මේ රටේ කාන්තා ප්‍රතිශතය 52% ක තරම් අගයක් ගන්නවා. රටේ ප්‍රාදේශීය මට්ටමේ, තරුණ සේවා, කෘෂිකාර්මික, වාරිමාර්ග, විදුලි බල, මාර්ග ඉදිකරීම, අධ්‍යාපනය ආදී සියලු ක්ෂේත්‍රයන්වල වැඩ කටයුතු හොඳින් සිදු වුණත් කාන්තා වැඩ කටයුතු හා සැලසුම් සම්බන්ධයෙන් අඩුවක් දක්නට ලැබෙනවා. ආගමික වැඩ කටයුතුත් ඉතා හොඳින් සිදු කරනවා. නමුත් 52% ක් වන රටේ කාන්තාවන් වෙනුවෙන් අප සිදු කරන්නේ මොනවාද? එම නිසා එය ප්‍රධාන කොට සැලකිය යුතුයි”.
“පක්‍ෂ දෙකක් එක්ව වැඩ කිරීමේ දී බොහෝ විට ගැටලු පැන නැගිය හැකියි. එම ගැටලු ශ්‍රී නිදහස් පක්‍ෂය තුළ මෙන්ම එක්සත් ජාතික පක්‍ෂය තුළ ද ඇති වනවා. විවිධ අදහස් මතු වෙනවා. නමුත් අප කෙසේ හෝ ඉදිරියට යා යුතුයි. අපි බොහෝ විට අවදානය යොමු කළේ බ්‍රිතාන්‍ය ක්‍රමයට වඩා ජර්මන් ක්‍රමය පිළිබඳවයි. ඇතැම් විට රටක ප්‍රධාන පක්‍ෂ එකතු වීමත්, ඇතැම් විට ඒවා බෙදී යාමත් එම ක්‍රමය තුළ දක්නට ලැබෙනවා. ප්‍රධාන පක්‍ෂ එකට එකතු වී වැඩ කළ ද, වෙන් වී වැඩ කටයුතු කළ ද ඉන් බොහෝ කාර්යභාරයක් පැවරෙන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීවරුන් වෙතයි. ජාතික ආණ්ඩුව නිර්මාණය කර වසර දෙකක් සපිරෙන සැප්තැම්බර් 04 වන දින “2025 ආර්ථික සැලසුම” ඉදිරිපත් කිරීමට අප කටයුතු කළා. මගේ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමැතිතුමා ඒ සම්බන්ධයෙන් අනෙක් අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුම්වත් කරනවා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කරනවා. 2025 ආර්ථික දර්ශනයේ පිටපතක් මේ සියලු දෙනා වෙත විද්‍යුත් තැපැල් මගින් යොමු කිරීම සුදුසු යැයි මම යෝජනා කරනවා. ඒ අපේ ආර්ථික දර්ශනය පිළිබඳව ඔබට සාමාන්‍ය දැනුමක් ලබා ගැනීම සඳහායි. නමුත් ඊටත් වඩා සවිස්තරාත්මක වාර්තාවක් මුදල් අමාත්‍යාංශය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය මගින් නිර්මාණය කර තිබෙනවා. ඒ රාජ්‍ය අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහායි”.
සංවර්ධන ඉලක්කයන් සඳහා ගමන් කරන්නේ පෞද්ගලික ආයෝජන හරහා බවත් මුදල් යොදවන්නේ එම සැලසුම් සකස් කිරීම සඳහා බවත් පෙන්වාදුන් අග්‍රාමාත්‍යවරයා ආයෝජන මණ්ඩලය හරහා පුද්ගලික ආයෝජකයන් ශ්‍රී ලංකාවේ විශාල ව්‍යාපෘති සඳහා ආයෝජනය කරන විට එම කටයුතු ඉදිරියට කර ගෙන යාමට නිලධාරීන්ගේ සහයෝගය අවශ්‍ය වන බවත් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
ඉදිරි මැතිවරණවල දී පිරිමි අපේක්‍ෂකයන්ට 75% ක උපරිම මැතිවරණ නියෝජනයක් හිමි වන අතර ම පළාත් පාලන ආයතන තුළ 25% ක කාන්තා නියෝජනයක් ඇති කර එහි ඇති අඩුපාඩු සකසා ගනිමින් එම ක්‍රමය ඉදිරියේ දී පළාත් සභා තුළ ද ක්‍රියාත්මක කළ හැකි වන බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

Read more

Local News