ලන්ඩන් උමං දුම්රියේ පිපිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

Share

ලන්ඩන් නුවර උමං දුම්රිය මැදිරියක ඊයේ (සැප් 15) සිදුවූ පිපිරීමට සම්බන්ධ බවට සැක පිට 18 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී.

කෙන්ට් ප්‍රාන්තයේ පොලිසිය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩෝවර් (Dover) වරාය ආශ්‍රිත ප්‍රදේශයක සිටියදී ය.

බ්‍රිතාන්‍යයේ ත්‍රස්ත පනතේ 41 වැනි වගන්තිය යටතේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා මේ වනවිට කෙන්ට් පළාතේ පොලිස් ස්ථානයක රැඳවුම් භාරයේ සිටී.

මෙට්‍රොපොලිටන් පොලිසියේ නියෝජ්‍ය සහකාර කොමසාරිස් නීල් බාසු කියා සිටියේ මෙම අත්අඩංගුවට ගැනීම “සුවිශේෂී” වුවත් ත්‍රස්ත අවදානම තවමත් “ඉතා බරපතළ” මට්ටමේ පවතින බවය.

එබැවින් පවත්නා ආරක්‍ෂිත විධි විධානවල කිසිදු අඩුවක් සිදු නොකරනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

නිරිතදිග ලන්ඩනයේ පාසන්ස් ග්‍රීන් හිදී උමං දුම්රිය මැදිරියක් තුළ සිදුවූ පිපිරීමෙන් තිස්දෙනෙක් තුවාල ලැබුහ.

ඉන් වැඩි පිරිස සුළු තුවාල ලබා සිටි හෙයින් ඔවුනට ප්‍රතිකාර ලබා දී පිටත්කර හැර ඇති බවත් මේ වනවිට තිදෙනෙකු රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටින බවත් ලන්ඩන් ගිලන්රථ සේවය පැවසීය

පවතින ත්‍රස්ත අවදානම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද පස්වරුවේ කෝබ්‍රා නමින් හැඳින්වෙන විශේෂ රැස්වීමක් කැඳවීමට නියමිතය.

බ්‍රිතාන්‍යයේ කෝබ්‍රා රැස්වීම කැඳවන්නේ හදිසි අවස්ථාවක දී පමණි.

මෙම පිපිරීම සම්බන්ධයෙන් 45 දෙනෙකුගෙන් සාක්ෂි ලබාගෙන ඇති බවත් මේ වනවිට ඊට අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලැබී ඇති බවත් බ්‍රිතාන්‍ය පොලිසිය පවසයි.

Read more

Local News