2020 දී කොළඹ ප්‍රදේශයට අයත් සැමට බාධාවකින් තොරව පානීය ජල පහසුකම් – අමාත්‍ය රවුෆ් හකීම්

Share

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා නිලධාරීන්ට නියෝග කර අැත්තේ, කොළඹ සහ කොළඹ අවට ප‍්‍රදේශයට 2020 දී බාධාවකින් තොරව පානීය ජල පහසුකම් ලබා දීමට හැකිවන පරිදි දැනට ක‍්‍රියාකරන ජල සම්පාදන ක‍්‍රම සංවර්ධනය කරන ලෙසත්, අළුතින් ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතීන් කඩිනමින් ආරම්භ කිරීමටත් පියවර ගන්නා ලෙසයි.

කොළඹ ප‍්‍රදේශයේ ඇතිවෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘතින් නිසා අවශ්‍යවන පානීය ජල ඉල්ලීම් සපුරාලීම සහ නියං කාලයට කළුගඟ හා කැළණි ගඟ ප‍්‍රදේශයේ පානීය ජලයට ලවණ මිශ‍්‍ර වීමට විසඳුම් වශයෙන් ලවණ බාධක ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම යනාදි අරමුණෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල නිලධාරීන් සමඟ කරන ලද සාකච්ඡාවේදී අමාත්‍ය රවුෆ් හකීම් මේ බව ප‍්‍රකාශ කළේය.

කොළඹ සංවර්ධන සැලස්මට අනුව ඉදිවෙමින් පවතින මහාපරිමාණයේ නිවාස හා හෝටල් සංකීර්ණ සහ වරාය නගර ඇති කිරීම යනාදී මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් සම්පූර්ණවීමත් සමගම ඇතිවිය හැකි ජල අවශ්‍යතා සපුරාලීම ගැන මෙහි දී අවධානය යොමුවිය.

තවද යෝජිත කැළණි ගඟ දකුණු ඉවුර ව්‍යාපෘතිය, වැලිවිට ජල පවිත්‍රාගාරය පිහිටුවීම, කළුගඟ ලවණ බාධක හා කළුගඟ ජල ව්‍යාපෘති සංවර්ධනය කිරීම, වීඔය හා යටිමහන ජලාශයන් ඉදිකිරීමේ ව්‍යාපෘතීන් පිළිබඳව ද මෙම සාකචිඡාවේ දී අදහස් ඉදිරිපත් කරන ලදී.

කැළණි ගඟ හරහා ලවණ බාධක ඉදිකිරීමට දැනටමත් කැළණි දකුණු ඉවුර ජල ව්‍යාපෘතිය යටතේ සියලු කටයුතු සංවිධානය කර ඇත. මෙම ලවණ බාධක ඉදිකිරීම කොළඹ නගරයට පානීය ජල සැපයීම සදහා අත්‍යාවශ කරැණකි. නමුත් දැනට කැළණි ඉවුර ලවණ බාධක ඉදිකිරීමට වාරිමාර්ග දෙපාර්තමෙන්තුව විසින් පනවා ඇති කොන්දේසි නිසා ගැටලු සහගත තත්වයක් උදා වී ඇත. මෙය විසදා ගැනීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග උසස් මට්ටමේ සාකච්ඡාවක් ඉක්මනින් පැවැත්වීමට තිරණය විය.

Read more

Local News