ළමුන් 1000 ට වැඩි සියලු පාසල්වලට කළමනාකාරවරුන් – අධ්‍යාපන අැමති

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා පැවති කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලට එක්වෙමින් පැවසුවේ, පරිපාලනයේ පහසුව සඳහා ළමුන් 1000 ට වැඩි සියලු පාසල්වලට ඉදිරියේ දී කළමනාකාරවරුන් පත් කිරීමට කටයුතු කරන බවයි.

ළමුන් 1000 ට වඩා වැඩි පාසල් සඳහා කළමනාකාරවරයෙකු ද, ළමුන් 2000 ට වඩා වැඩි පාසල් සඳහා කළමනාකාරවරයෙකු මෙන්ම තවත් සහකාර කළමනාකාරවරයෙකු ද පත් කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරනු ලබන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

අදාළ කළමනාකාරවරුන් පාසලේ පරිපාලන කටයුතු සඳහා සෘජුවම මැදිහත් වන අතර විදුහල්පතිවරයා හට පාසලේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදීමේ අවස්ථාව මේ තුළින් හිමි වේ.

විදුහල්පතිවරුන් සහ අධ්‍යාපනඥයින් කළ ඉල්ලීමට අනුව මෙම තීරණය ගෙන තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ, විධිමත් ක්‍රමවේදයන් අනුව ගුරු වෘත්තිය සංගම් වල සමාජිකත්වය ද සහභාගී කරගනිමින් ගුරුමාරු මණ්ඩල හරහා එම වැඩසටහන ක්‍රියාවට නංවන බවයි.

ගුරුමාරුවීම් වලදී අදාළ ගුරුවරුන්ගේ පදිංචිය ඇතුළු තවත් කරුණු රැසක් මූලිකව සලකා බලමින් එම මාරුවීම් සිදු කරන බවත් අදාළ මාරුවීම් සම්බන්ධයෙන් අභියාචනා සිදුකිරීමේ අවස්ථාව ද අදාළ ගුරුවරුන් වෙත පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read more

Local News