සාමය කඩකළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකී – නීතිඥ සුදර්ශන ගුණවර්ධන

Share

පූජනීය ස්ථාන, නිවාස හා ව්‍යාපාර ස්ථාන සමහරකට හානි සිදු කළ අම්පර හා දිගන ප්‍රදේශයන්හි මෑතදී සිදු වූ සාමය කඩකළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකී.

අන්තර් ප්‍රජා සමඟියට බාධා කිරීමේ සහ කළහ ඇති කිරීමේ පැහැදිළි පරමාර්ථයෙන් මුස්ලිම් හා අන් ප්‍රජාවන් අතර  ද විශේෂයෙන් සමාජ මාධ්‍ය ජාල හා වෙබ් අඩවි මඟින් සමහරුන් විසින් කෙරෙන නොමඟ යවන සුළු තොරතුරු සහ වෛරීශීලීත්වය බෙදා හැරීමට කරන උත්සහයන්ද රජය දැඩි ලෙස හෙළා දකී.

එවැනි වෛරශීලී සහ සාවද්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගෙන් රජය ඉල්ලා සිටී. දසක තුනකට ආසන්න කාලයක් තුළ කලහකාරීත්වයෙන් පීඩාවට පත් රටක් සහ ජාතියක් ලෙස අපි එවැන්නක් යළි යළිත් සිදුවීමෙන් බැහැරවිය යුත්තෙමු.

ජාතික අරක්ෂක මණ්ඩල රැස්වීමේ දී අතිගරු ජනාධිපතිතුමා විසින් ආරක්ෂක ප්‍රධානීන්ට සහ පොලීසියට නීතිය සහ සාමය ක්‍රියාත්මක කිරීමටත් දිසාපතිවරුන්/ ප්‍රාදේශීය ලේකම්වරුන් හා අනෙකුත් දිස්ත්‍රික් පරිපාලන බලධාරීන් සමඟ එක්ව ප්‍රජාවට අහිතකරව බලපාන කලහකාරි සිද්ධීන්ට එරෙහිව වහාම ක්‍රියාකරන ලෙසත් නියෝග කරන ලදී. ප්‍රජා ආගමික අසමඟිය ඇතිකරන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා  නීතිය නිර්පාක්ෂිකව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට දැනටමත් ඔවුහු ක්‍රියාකරමින් සිටිති.

අපරාධ කරන්නවුන් හා නීතිය හා සාමය කඩකප්පල් කරන්නවුන්ට එරෙහිව ස්ථීර හා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය නොපැකිලේ. සම පුරවැසි අයිතිවාසිකම් රැකෙන ලෙස සියළුම නිදහස් අවස්ථාවන් සෑම කෙනෙකුටම භුක්ති  විදින හා විවිධත්වයට ගරු කරන, ස්ථාවර, සාමකාමී සහ ප්‍රගතිශීලී ජාතියක් ගොඩනැගීම සඳහා සියළුම  පුරවැසියන්ගේ සහයෝගය සහ සහභාගීත්වය ජාති අගම් භේදයෙන් තොරව රජය ඉල්ලා සිටියි.

පූජ්‍ය පක්ෂය, දේශපාලඥයින්, සමාජ නායකයින්, සිවිල් සමාජ හා මාධ්‍යයෙන් සමන්විත ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුම ඕනෑම කලහකරී බවක් ප්‍රතික්ෂේප කොට, සාමය හා සමඟිය මඟින් සංහිදියාව ඇතිකිරීමට සහයෝගය දිය යුතුවේ.

නීතිඥ සුදර්ශන ගුණවර්ධන
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

Read more

Local News