මහනුවර රෝහලේ වකුගඩු ඒකකයේ සය මහල් ගොඩනැගිල්ල මෙම වසරේ මැයි මාසයේ ජනතා අයිතියට

Share

මහනුවර රෝහලේ වකුගඩු ඒකකය වෙනුවෙන් ඉදි කෙරෙන සය මහල් ගොඩනැගිල්ල මෙම වසරේ මැයි මාසය පමණ වන විට ජනතා අයිතියට පත් කිරීමට  හැකියාව ඇති බව මහනුවර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මහතා  පවසයි.

ඉදි වෙමින් පවතින මෙම ගොඩනැගිල්ලේ ඉදි කිරීම් කටයුතුවලින් පසුව වකුගඩු රෝගීන් මුහුණ පාන ගැටලු රැසකට ඒ මගින් පිළිතුරු ලැබෙනු ඇති බවද ඔහු පෙන්වා දෙයි.

වකුගඩු රෝග හා සම්බන්ධ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ලංකාවේ විවිධ පළාත් වලින් මහනුවර රෝහලට දිනකට රෝගීන් 600 – 700 ත් අතර ප්‍රමාණයක් පැමිණෙන අතර, වසරකට වකුගඩු සැත්කම් 100 ක් පමණ සිදු කරයි. එලෙස සැත්කම් සඳහා භාජනය වන රෝගීන් සැත්කමට පෙර සහ සැත්කමින් පසුව නේවාසිකව සිටිමින් දෛනිකව සායන සදහා පැමිණිය යුතුය. එවැනි කාලයක් රෝහල තුළ නේවාසික පහසුකම් ලබා ගැනීමට නොහැකි බැවින් දුර බැහැරින් පැමිණෙන රෝගීන්ට රෝහල අසල නිවාස සහ කාමර කුලියට ගෙන නේවාසික වීමට සිදු වේ. එලෙස රෝහල අසලින් නේවාසික වීමේදී මසකට රුපියල් 15,000 කට ආසන්න මුදලක් වැය කිරීමට එම රෝගීන්ට සිදු වේ. ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන්ට එවැනි ආර්ථීක තත්වයක් නොමැති බැවින් ඔවුන් සඳහා නවාතැන් පහසුකම් ලබාදීම මෙම ගොඩනැගිල්ල ඉදි කිරීමේ මූලික අරමුණයි.

ඉදි කෙරෙමින් පවතින මෙම සය මහල් ගොඩනැගිල්ල තුළ සැත්කම් සදහා භාජනය වන රෝගීන් 30 කට නේවාසික වීමට පහසුකම් සළසා තිබේ. ඒ අනුව වෛද්‍ය නිර්දේශ මත සැත්කමට පෙර සහ පසු වකුගඩු රෝගීන්ට මෙම නේවාසිකාගාරයේ පහසුවෙන් නවාතැන් ගැනීමට හැකියාව ලැබේ. මීට අමතරව එම සය මහල් ගොඩනැගිල්ල තුළම රුධීර කාන්දුකරණ යන්ත්‍ර 50 කින් යුත් රුධිර කාන්දුකරණ ඒකකයක්ද ස්ථාපිත කරන නිසා එම රෝගීන්ට ඉතා පහසුවෙන් එම ස්ථානයේ සිටම එම ප්‍රතිකාරයද ලබා ගැනීමට හැකියාව ඇත. දැනට මහනුවර මහරෝහලේ රුධිර කාන්දුකරණ යන්ත්‍ර 35 ක් පවතින අතර, අලුතින් එක් වන කාන්දුකරණ යන්ත්‍රද ඇතුලත් වූ පසු තදබදයකින් තොරව රුධිර කාන්දුකරණ කටයුතු සිදු කිරීමටද හැකියාව ලැබෙනු ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පිහිටවන ලද වකුගඩු රෝග නිවාරණ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ විශේෂ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේ සියළු ඉදි කිරීම් ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉදි කිරීම් හා ඉංජිනේරු අංශය මගින් ක්‍රියාත්මක කෙරේ. ඉංජිනේරුමය කාර්යන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් මෙහි ඉදි කිරීම් උපදේශකත්වය ලබා දී තිබේ.

Read more

Local News