පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරිපාලන ව්‍යුහය සහ පුරාවස්තු සංරක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට පියවර

Share

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා සඳහන් කළේ, පුරාවිද්‍යා කැණිම් වාර්තා සහ පුරාවස්තු නිසි පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත බාර නොදෙන පිරිස් වෙත කැණීම් බලපත්‍ර ලබාදීම අත්හිටුවීමට පියවර ගන්නා බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පරිපාලන ව්‍යුහය සහ පුරාවස්තු සංරක්ෂණ කටයුතු ශක්තිමත් කිරීමට පියවර රැසක් ගන්නා බවයි.

අතීත උරුමයන් අනාගත පරම්පරාව වෙනුවෙන් ආරක්ෂා කිරීම සඳහාත් පුරාවිද්‍යා කැණීම් හා සංරක්ෂණ කටයුතු ජාත්‍යන්තර නිර්ණායක හා ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීමට අවශ්‍ය යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු විධිමත්ව හා විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමට අවශ්‍ය දැඩි පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

මෙම වටපිටාව මත පුරාවිද්‍යා කැණීම් සම්බන්ධව පැවතිය යුතු ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නිර්ණායක නොමැතිවීමෙන් ජාත්‍යන්තර පිළිගැනීම පවා මෙරට පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවලට අහිමී වී යාමේ තත්ත්වයක් ද උද්ගත වී ඇති බව ද  ඒ මහතා සඳහන් කළේය.

පසුගිය කාල වකවානුවේ දී කැණීම්වලින් හමු වූ පුරාවස්තු නිසි පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වෙත බාර නොදීම සහ පසුගිය සමයේ නිසි වගවිභාගයකින් තොරව පුරාවිද්‍යාඥයින් නොවන පිරිස් වෙත කැණීම් බලපත්‍ර නිකුත් කර ඇති බවට කරුණු වාර්තා වී ඇති හෙයින් පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර ලබාදීමේ දී අක්‍රමිකතා සිදු වී ඇත්දැයි සොයාබැලීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා සඳහන් කළේය.

Read more

Local News