විදුලි කාර්මිකයින් සඳහා වෘත්තීය පිළිගැනීමක් ලබාදීමේ බලපත්‍ර ක්‍රමයක්

Share

විදුලි කාර්මිකයින් සඳහා වෘත්තීය පිළිගැනීමක් ලබාදීමේ බලපත්‍ර ක්‍රමය හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන සභාව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන ආයතනය, ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම මේ වැඩපිළිවෙල සකස් කිරීමට හා ක්‍රියාත්මක කිරීමට දායක වේ.

විදුලි සැර වැදීම් අනතුරුවලින් සියයට 55ක් සිදුවන්නේ නිවාස වල අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධතිවල දෝෂයන් හේතු වෙන් බව අනාවරණය වී තිබේ. නිවාස වල අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධති වල ප්‍රමිතිය සම්මත තත්වයක නොපැවතීම මීට හේතුවකි.

එසේම දැනටමත් හදුන්වා දී ඇති විදුලි පේනු හා කෙවෙනි පිළිබද ජාතික ප්‍රමිතිය ක්‍රියාවට නැගීමට ඒ පිළිබද කාර්මිකයින් දැනුවත් විය යුතුය. ඒ හැරුණු විට විදුලි කාර්මික වෘත්තියෙහි නියැලි පිරිස් වලට ඒ ක්ෂේත්‍රෙයහි ඉදිරියට යාමට පැහැදිලි වෘත්තීය මාර්ගයක් අවශ්‍ය වේ.

යෝජිත වෘත්තීය පිළිගැනීම ලබාදීමෙන් පසුව මෙරට සියලුම විදුලි කාර්මිකයින්ට (ඇම්පියර් 30 එකලා) අභ්‍යන්තර විදුලි රැහැන් පද්ධති සැළසුම්කිරීම, රැහැන් ඇදීම, එම පද්ධති පරීක්ෂා කර සහතික නිකුත්කිරීමේ බලය ලැබෙනු ඇත. ඔවුන් නිකුත් කරන පරීක්ෂාකිරීමේ සහතික ලංකා විදුලි බල මණ්ඩලය හා ලංකා විදුලි පුද්ගලික සමාගම විසින් පිළිගන්නු ලැබේ. ඇම්පියර් 30 සිට 60 දක්වා වු තෙකලා අභ්‍යන්තර විදුලි පද්ධති වල රැහැන් ඇදීමටත් එම පද්ධති පරීක්ෂා කර සහතික කිරීමේ බලයත් බලපත්‍රලාභී විදුලිකාර්මිකයින්ට හිමි වේ.

එවැනි පද්ධති සැළසුම් කිරීම වරලත් ඉංජිනේරුවරයෙකු විසින් කළ යුතු බවට යෝජිත යාන්ත්‍රණයෙහි දැක්වේ. යෝජිත යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේ පළමු පියවර වනුයේ සියළුම විදුලි කාර්මිකයින්ට සිය වෘත්තීය කරගෙන යාමට හැකි වන පරිදි බලපත්‍රයක් නිකුත් කිරීමයි. එම බලපත්‍රය අවුරුදු 3ක කාලයක් සඳහා වලංගු වන අතර ඒ කාලය තුලදී ජාතික වෘත්තීය (NVQ) සුදුසුකම් 3 මට්ටම ලබාගැනීමට විදුලි කාර්මිකයින්ට අවශ්‍ය පහසුකම් සලසනු ලැබේ. NVQ මට්ටම ලබාගත් විට විදුලි කාර්මික ස්ථිර බලපත්‍රය නිකුත් කරනු ලැබේ.

Read more

Local News