ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අගමැති නිකුත් කළ සුබපැතුම් පණිවුඩය

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් නිකුත් කළ සුභ පැතුම් පණිවුඩය,
දියුණු, ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැංවීම උදෙසා ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමභාවිතය සවිබල ගැන්වීම සහ කාන්තාව ඒ සඳහා දායක කරගැනීමේ වැදගත්කම කෙරෙහි සමාජයක් ලෙස අපගේ අවධානය යොමු විය යුතුය. ඒ තුළ විශිෂ්ඨ කාර්යභාරයක් ඉටු කරනු සඳහා කාන්තාව දිරි ගැන්වීමට බල ගැන්වීමට සුදුසු ස්ථිරසාර පරිසරය නිර්මාණය කිරීම අපගේ වගකීමකි.
නිවසේ වගකීම් ඉටුකරන අතරම රැකියාවක නියැළෙන කාන්තාව මෙන්ම රැකියාවක් නොකළද නිවසක ආර්ථික කළමනාකරණය සහ අනෙකුත් වගකීම් ඉටුකරන කාන්තාවද රටේ ආර්ථිකයට, සමාජ පැවැත්මට ලබා දෙන්නේ සුවිශාල දායකත්වයකි. “දියුණුවේ මං පෙත්, හෙළිකරයි – ඇය සවිමත්.” යන 2018 ජාත්‍යන්තර කාන්තා දින තේමාව ඇගේ සුවිශේෂ භූමිකාව අරුත් ගන්වන බව නිසැකය.
මෙරට අධ්‍යාපන, පරිපාලන, සාහිත්‍ය කලා ආදී විවිධ ක්ෂේත්‍රවල කාන්තා දායකත්වය කැපී පෙනුණද, දේශපාලනය සඳහා කාන්තා සහභාගිත්වය පැවතියේ අවම මට්ටමකිනි. දේශපාලන ක්ෂේත්‍රය තුළද කාන්තාවගේ දායකත්වය පුළුල් කිරීමේ අරමුණින් මෙවර පළාත් පාලන ඡන්දයේදී කාන්තා නියෝජනය 25% ක් ලෙස වර්ධනය කරන්නට හැකි වීම ජයග්‍රහණයකි. ඇයට තමන්ගේ සුවිශේෂ හැකියාවන් තුළ සමාජ ප්‍රගමනයට සැලකිය යුතු දායකත්වයක් ලබා දීමට එමඟින් හැකියාව ලැබෙනු ඇත.
සුවිශේෂිව කාන්තාවටත්, පොදුවේ ජනතාවටත් වඩාත් ගෞරවනීයව, සුරක්ෂිතව නිදහස් මනසකින් දිවි ගෙවිය හැකි සමාජ, ආර්ථික වටපිටාවක් නිර්මාණය කර දීම සඳහා අප රජය ගෙන යන වැඩපිළිවෙළට සමස්ත කාන්තාවගේ සහයෝගයද අපේක්ෂා කරමින්, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මාගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි.
රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

Read more

Local News