ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කටයුතු අඩපණ වී ඇතැයි පැවසීම අසත්‍යක් – සභපතිනි නීතීඥ මරිනි ද ලිවේරා

Share

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කටයුතු අඩපණ වී ඇති බවට අධිකාරියට එරෙහිව කටයුතු කරනු ලබන සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරනු ලබන චෝදනාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය ලෙස තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභපතිනිය නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් සභාපතිනිය මෙසේ සඳහන්කර ඇත.

”1998 අංක 50 දරණ ජාතික ළමා ආරක්ෂක අධිකාරී පන‍තේ 14 වන වගන්තිය ප්‍රකාරව ඉතා සුවිශේෂී කාර්ය භාරයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරී තිබෙන අතර එම කටයුතු ඉතා ක්‍රමවත්ව මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටියි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි දිනකට 30 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන අතර එම පැමිණිලි වලට අදාළ විමර්ශන කඩිනමින් සිදුකරනු ලැබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවන ළමා අපයෝජන වලට අදාළ විමර්ශන හා නඩු කටයුතු නියාමනයද දිනපතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මඟින් සිදුකරනු ලබයි. අපයෝජනයන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කරන අතර අද දිනයේද පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත්වේ. වින්දිත දරුවන්ගේ වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ කටයුතු ද ආසන්න වශයෙන් සතියකට 05 ක් පමණ සිදු කෙරේ.

විශේෂයෙන් ළමා අපයෝජන සිදුවීම් වලට අදාළව නීති උපදෙස් ලබා දීම, වින්දිත පාර්ශවයන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම, වින්දිත දරුවන් වෙනුවෙන් අධිකාරියේ සායනික මනෝවිද්‍යාඥ මධූ මුණසිංහ මියගේ අධීක්ෂණය යටතේ මනෝ උපදේශන සේවා පැවැත්වීම, අන්තර්ජාල ආවේක්ෂණ කටයුතු සිදු කිරීම, 24 පැය පුරාවට ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි භාර ගැනීම සඳහා 1929 ළමා උපකාරක දුරකතන සේවය පවත්වාගෙන යාම, 24 පැය පුරාවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ කටයුතු ක්‍රියාත්මක කිරීම දෛනිකව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුළ සිදු කරන්නා වූ කටයුතු වේ. දෛනිකව මෙතරම් කටයුතු රාශියක් සිදුකරන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කීර්ති නාමයට හානි පැමිණවීම සඳහා සිය පෞද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු කරන සංවිධානාත්මක පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අඩපණ වී ඇතැයි පැවසීම කණගාටුවට කරුණකි. එමෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සංවර්ධන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය අනෙකුත් ප්‍රතිපාදන ලබා ගැනීමට අදාළ ලේඛන කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය වෙත යොමු කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කිරීමට කැමැත්තෙමි.”යැයි සඳහන් කර ඇත.

Read more

Local News