ජපාන – ශ‍්‍රී ලංකා සබඳතාවය ශක්තිමත්, මිත‍්‍රශීලි සහ විශ්වාසනීය සබැඳියාවක් බවට පත් වී අැත

Share

සෙන් ෆ‍්‍රැන්සිස්කෝ සමුළුවේදී ශක්තිමත් වූ ජපාන – ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ නැවුම් මුහුණුවරකින් ඉදිරියට පැමිණ තිබෙන අතර, එය ශක්තිමත් මිත‍්‍රශීලි මෙන්ම විශ්වාසනීය සබැඳියාවක් බව ජපාන අග‍්‍රාමාත්‍යවරයා පවසයි.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා විසින් පිරිනමන ලද විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහය පෙරේදා (14) දින රාති‍්‍රයේ ටෝකියෝ නුවර අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණු අතර, එහිදී අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා විසින් මෙහිදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ, ජපානය සහ ශ‍්‍රී ලංකාව අතර පවතින ආයෝජන සහ සහයෝගීතා වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කර ගැනීමට පසුගිය දින කිහිපයේ දෙරට අතර පැවති සාකච්ඡාවලදී එකඟතාවයන් රැසකට එළැඹීමට හැකි වූ බවයි.

ජපානය සෑමවිටම ශී‍්‍ර ලංකාවේ අවංක මිතුරෙකු ලෙස කටයුතු කරන අතර, ඉදිරියේදී එම සබඳතා සෑම ක්ෂේත‍්‍රයක් තුළින් ම වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය. ශී‍්‍ර ලංකාවේ සංවර්ධනයට සහය ලබාදෙන ප‍්‍රධාන රටක් ලෙස ජපානය සහ එම ජනතාව පිළිබඳ ශී‍්‍ර ලාංකික ජනතාව තුළ ඇත්තේ මහත් ගෞරවයක් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. ශ‍්‍රී ලංකාවේ 70 වන ජාතික නිදහස් සමරුව වෙනුවෙන් සුබපැතීමට ද ජපාන අග‍්‍රාමාත්‍යවරයා මෙය අවස්ථාවක් කර ගත්තේය.

ශී‍්‍ර ලංකාවේ ඉතාමත් ජනපි‍්‍රයත්වයට පත්වූ ටෙලි නාට්‍යයක් වන ඔෂින් ටෙලි නාට්‍ය මාලාවේ ඔෂින්ගේ චරිතය නිරූපණය කළ නිරූපණ ශිල්පිණිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News