සාමාන්‍ය පෙළ අසමත් වුවත් සිසුන්ට අරමුණු 4ක් මුල් කර ගනිමින් උසස් පෙළ පෙනී සිටීමට වරම්

Share

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වන සිසුන්ට අරමුණු 4ක් මුල් කර ගනිමින් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තීරණය කර ඇත.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ වසර 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපන අයිතිය රටේ සියලු දරුවන්ට ලබාදීමේ නව ආකල්පයක් අනුව හඳුන්වාදෙන ලද  මෙම නවතම වැඩපිළිවෙලෙහි නියමු වැඩසටහන මේ වසරේදී ආරම්භ කිරීමට නියමිතය.  එහිදී  නව ලොවට ගැළපෙන මානව සම්පත් පාසල් පද්ධතියෙන් බිහිකිරමින් සියලු දරුවන්ගේ තාක්ෂණික, වෘත්තීය හා සමාජයීය කුසලතා සංවර්ධනය කිරීමටත්, ඔවුන් රටේ ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමට කටයුතු කිරීමටත් අපේක්ෂා කෙරේ.

ඒ අනුව පහත ප්‍රධාන අරමුණු මුල්කරගනිමින් සියලු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමත්, නිපුනතා සංවර්ධනය කිරීමත් හරහා රටේ පිළිගත් ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමත් මෙම වැඩපිළිවෙළ හරහා සිදුකිරීමට නියමිතය.

  • අ.පො. ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට එම විභාගයෙන් සමත්/අසමත් බව නොසලකා ‍උසස් පෙළට අලුතින් හඳුන්වා දී ඇති වෘත්තීය විෂය ධාරා යටතේ වසරක 13 ක අඛණ්ඩ අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව ලබාදීම.
  • සිසු දරුවන්ට නම්‍යශීලී ඉගෙනුම් අවස්ථා සැලසීම මඟින් තමන් කැමති වෘත්තීය විෂයයක් හැදෑරීමට අවස්ථාව ලබාදීම හා වැඩලෝකයට හෝ තෘතීයික/උසස් අධ්‍යාපනයට අවස්ථාව සැලසීම
  • දේශීය හා විදේශීය රැකියා සඳහා ඉල්ලුමක් පවතින වෘත්තීය විෂයයන් හඳුන්වාදීම සහ ප්‍රාදේශීය වශයෙන් පවතින සම්ප්‍රදායික කර්මාන්ත, කෘෂිකර්මාන්තය හෝ ව්‍යවසායයන් ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය නිපුණතා සංවර්ධනය කිරීම.
  • කුසලතා හා හැකියාවන්ගෙන් පිරිපුන් යහපත් වටිනාකම්වලින් යුත් සදාචාර සම්පන්න අනාගත පුරවැසියන් බිහිකිරීම සහ ඔවුන් රටේ සමාජ ආර්ථික හා මානව සංවර්ධනයට දායක කරගැනීම තුළින් වසර 2030 වනවිට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීම.

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී දිවයින පුරා පාසල් 42ක් කේන්ද්‍ර කරගනිමින් මෙම වැඩපිළිවෙළෙහි නියාමක ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

 

 

 

Read more

Local News