වකුගඩු රෝගය වළක්වාලීම සහ පානීය ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම ඉලක්ක කරගත් පර්යේෂණ 03ක්

Share

ප්‍රබල සෞඛ්‍ය හා සමාජීය ගැටළුවක් වන වියළි කලාපය ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාප්තව ඇති හේතුව සොයා නොගත් වකුගඩු රෝගය වළක්වාලීම සහ පානීය ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම ඉලක්ක කරගත් පර්යේෂණ 03ක් සඳහා පර්යේෂණ ප්‍රතිපාදන සපයා දී තිබෙන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය පවසයි.

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය යටතේ ඇති ජාතික පර්යේෂණ සභාව රටෙහි විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රය සවිබලගැන්වීමේ කාර්යය සඳහා රාජ්‍ය අරමුදල් සපයා දෙන ආයතනයකි. ඒ යටතේ විද්‍යාත්මක මැදිහත්වීම් හරහා රටෙහි දැවෙන ප්‍රශ්න සඳහා විසඳුම් ලබා දෙනු පිණිස “ඉලක්ක මත පදනම් වු බහු විෂයානුබද්ධ පර්යේෂණ ප්‍රදාන” නමින් අරමුදල් ප්‍රදාන යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

මෙම පර්යේෂණ ප්‍රදාන මත, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් වකුගඩු රෝගයට හේතු වන රෝග නිධානයන් පිළිබඳව පර්යේෂණක් සිදු කරනු ලබයි.

එසේම, වියලි කලාපයේ පානීය ජල ගැටළුවට තිරසර විසඳුමක් ලෙස එම ප්‍රදේශ වල පානීය ජලයේ මුළු ද්‍රාවිත ඝන අපද්‍රව්‍ය සහ ක්ලෝරයිඩ් නිවැරදි කිරිම සඳහා ආදර්ශ පිරියම් සැකසුමක් නිර්මාණය කිරීම ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය රොහාන් වීරසූරිය මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කරනු ලබයි.  ඊට අමතරව කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය රෝහිණිද සිල්වා මහත්මිය ඇතුළු කණ්ඩායමක් විසින් ජල පිරිපහදු කිරීම සඳහා උසස් ද්‍රව්‍ය මත පදනම් කරගත් පෙරහන් සංවර්ධනය කිරීම පිළිබඳ පර්යේෂණය සිදු කරනු ලබයි.

Read more

Local News