ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද දෙවන අධි තාක්ෂණික නෞකාව කොළඹ වරායට

Share

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඉන්දියානු ‍ගෝවා නැව් තඨාකාංගනයේ නිෂ්පාදනය කරන ලද දෙවන ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව ඊයේ (26) උදෑසන 09.40 ට පමණ කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන්, කපිතාන් (ඒඑස්ඩබ්) සමන් පෙරේරා මහතා කටයුතු කරනු ලබන අතර, නිලධාරීන් 18 දෙනෙකුගෙන් සහ නාවිකයින් 100 දෙනෙකුගෙන් එහි නැව් මුළුව සමන්විත වේ. මෙම නෞකාව ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව වෙත රැගෙන එ්ම කොමදෝරු ආනන්ද ගුරුගේ මහතාගේ පුර්ණ අධික්‍ෂණය යටතේ සිදුවිය.

නාවික හමුදාධිපතිතුමා නෞකාවේ නිරීක්ෂණ චාරිකා වාරයක නිරතවූ අතර, එහිදී නෞකාවේ ක්‍රියාකාරීත්වය, මෙහෙයුම් සූදානම සහ සැකැස්ම පිළිබඳව නාවික හමුදාධිපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය. මෙම නෞකාව නුදුරේදීම සන්නද්ධ හමුදා සේනාධිනායක, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් අධිකාරියට පත් කිරීමට නියමිතව ඇත.

එමෙන්ම, පසුගිය මාර්තු 23 වන දින මෙම නෞකාව නිල වශයෙන් නාවික හමුදාවට භාර දීමේ උත්සවය, ඉන්දියාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස්වරිය ලෙස කටයුතු කරන අතිගරු චිත්‍රාංගනි වාගිෂ්වර මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ ගෝවා නැව් තඨාකංගනයේදී සිදු කෙරුණි. එහිදී නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා විසින් නිල වශයෙන් නෞකාව භාර ගන්නා ලදී.

Read more

Local News