මේ වසර අවසානය වන විට මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර

Share

සියලු ම මහවැලි ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් අරඹන ලෙස ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඊයේ (26) අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.
2018 වසර අවසානය වන විට මේ රටේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙ.ටොන්. 2,38,000 දක්වා ඉහළ නැංවීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ඉලක්කයයි. එමෙන්ම ජලජීවි වගාව තුළින් ද අපේක්ෂිත මත්ස්‍ය අස්වැන්න මෙ.ටො. 140,000කි.
මේ වනවිට මොරගහකන්ද ජලාශයේ ජලය උතුරු මැද පළාතේ මහවැලි ජලාශවලට මුදා හැර තිබෙන බැවින් එම ජලාශවල සමස්ත ජලධාරිතාව යල කන්නයේ වුවද ස්ථාවරව පවත්වාගත හැකිව තිබේ.
මේ තත්ත්වය යටතේ ඉදිරි කාලය තුළ උතුරු මැද පළාතේ මහවැලි ජලාශවලට ජල හිඟයක් ඇති වීමේ අවදානමක්  නොමැත. එම නිසා මහවැලි ජලාශවල මත්ස්‍ය වගාව පුළුල් කිරීම තුළින් විශාල අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බවද අමාත්‍යවරයා කීය.
පසුගිය වසරේ මෙරට මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙ.ටො. 53.750කි. එමෙන්ම එම වසරේ මත්ස්‍ය ඇගිල්ලන් මිලියන 51.8ක්ද, මිරිදිය ඉස්සන් පසු කීටයින් මිලියන 35.59ක් ද, කිවුල් දිය ඉස්සන් පසු කිටයින් මිලියන 301.71ක් ද  නිපදවනු ලැබීය. මෙම කටයුතු ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි. මෙහිදී කාසල්රී ජලාශයේ ධීවර ගැටළුව ද අවධානයට ලක් වු අතර එම ජලාශයට ද තවත් මත්ස්‍ය පැටවුන් වැඩිපුර මුදාහැරීමට තීරණය විය.

Read more

Local News