ආසියාවට ඉදිරියට යන්න හැකි වුණා ජේ.ආර්. මැතිතුමා ගත් නිර්භිත පියවර නිසා – අගමැති

Share

අගමැතිවරයා ප්‍රකාශ කළේ එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගත් නිර්භිත පියවර නිසා ආසියාවට ඉදිරියට යන්න හැකි වූ බවයි.

දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ 111 වන ඡන්ම දිනය නිමිත්තෙන්  පසුගියදා කොළඹ, ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ පැවති සැමරුම් උත්සවයේදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ත්‍රස්තවාදය අහිතකර ලෙස අපේ රටට බලපෑවා. නමුත් අවසානයේදී ඉන්දියාව ද මිත්‍ර කර ගැනීමට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට හැකියාව ලැබුණා. ඒ යුගය ලංකා ඉතිහාසයේ වැදගත් කාලයක් ලෙස හැදින්වීමට පුළුවන්.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා තීරණ ගැනීම සඳහා බිය වුණේ නැහැ. එතුමා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් විවෘත ආර්ථිකය කලාපයේ අනෙක් රටවල් ද අනුගමනය කළා. අද පවතින ආසියාව බිහි වුණේ එදා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ගත් තීරණ නිසයි. යුද්ධය නිසා අප රටට සමහර දෑ ළඟා කරගැනීමට නොහැකි වූ නමුත් ආසියාවේ කෝටි ගණනක ජනතාවගේ ජීවිත ගොඩනැගීමට හැකි වුණා. ඒ ජනතාව දුප්පත් කමින් මුදාගෙන තිබෙනවා.

මේ ගමන ආරම්භ කිරීමට මූලිකවූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සිහිපත් කිරීමට අද අපි මෙසේ එක්රැස්වී සිටිනවා. මේ අතර කනගාටුවෙන් මතක් කළ යුතු දෙයක් තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පුතණුවන් වන රවී ජයවර්ධන මැතිතුමා මේ වසරේදී අප අතරින් වෙන් වුණා. මීට පෙර එතුමා මෙවැනි අවස්ථාවලට සහභාගී වුණා. ඒ වගේම පියා වෙනුවෙන් වැඩ කටයුතු කළා. ඒ නිසා අද අපි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සහ රවී ජයවර්ධන මැතිතුමා ද ගෞරවයෙන් සිහිපත් කරන බව තවදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News