සියලු ම වගාවන් ආවරණය වන පරිදි ගොවීන්ට අවශ්‍ය පොහොර සහනාධාර මිලකට ලබාගැනීමට රජය කටයුතු සම්පාදනය කරයි

Share

පොහොර සහනාධාර ප්‍රතිපත්තිය යටතේ පොහොර මිලදී ගැනීම සඳහා මුදල් ප්‍රදානය කිරීමේ ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමේ දී ගැටලු සලකා බලා මුදල් ප්‍රදාන ක්‍රමවේදය වෙනුවට සියලු ම වගාවන් ආවරණය වන පරිදි ගොවීන්ට අවශ්‍ය පොහොර සහනාධාර මිලකට ලබාගැනීමට කටයුතු සම්පාදනය කිරීමට රජයේ අවධානය යොමුව ඇත.
ඒ අනුව, වී වගා කරන ගොවීන්ට එක් කන්නයක් සඳහා අක්කර 5ක උපරිමයකට යටත්ව අවශ්‍ය කරන යූරියා, ටී.එස්.පී., එම්.ඕ.පී. යන ඍජු පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් රුපියල් 500/-ක සහනාධාර මිලකට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ලබා දීමට කටයුතු කරයි.
අනෙකුත් භෝග වගා කරන ගොවීන්ට අවශ්‍ය කරන පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක් රුපියල් 1,500/-ක සහනාධාර මිලකට විවෘත වෙළඳ‍ පොළෙන් මිල දී ගැනීමටත් හැකි වන ක්‍රමවේදයක් සකස් කිරීමටත්, 2018 අයවැය මඟින් යෝජනා කර තිබූ පරිදි වී,‍‍‍‍ අර්තාපල්, බඩඉරිඟු, සෝයා සහ ළුණු වගාවන්ට ස්වාභාවික හේතූන් නිසා ඇති වන හානි වෙනුවෙන් අක්කරයකට රුපියල් 40,000/- වන්දියක් සැපයෙන රක්ෂණ යෝජනා ක්‍රමයකට එක් ගොවියෙකු වෙනුවෙන් කන්නයක් සඳහා රුපියල් 675/-ක දායක මුදලක් රජය විසින් දැරීමටත් මෙම යෝජනා 2018 යල කන්නයේ සිට ක්‍රියාත්මක කිරීමත් නියමිතය.

Read more

Local News