ඉන්දියාවේ කුලහීන දාලිත් ජනතාව තම අයිතීන් ඉල්ලා විරෝධතාවල

Share

ඉන්දියාවේ කුලහීන දාලිත් ජනතාව තම අයිතීන් ඉල්ලා දහස් ගණනින් රැස්වී සිදුකළ විරෝධතා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

එරට කුලහීන ජනතාව ආරක්ෂා කිරීම සඳහා පැවති නීතියත් බෙලහීන කළ බවට ඔවුන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී ලබාදුන් තීන්දුවක්ද විවේචනයට ලක්කර තිබේ.

මෙම විරෝධතා හේතුවෙන් මේ වනවිට එරට දුම්රිය සේවා රැසකට බලපෑම් එල්ල වී ඇති අතර, මහාමාර්ග අවහිර කිරීම හේතුවෙන් ප්‍රාන්ත කිහිපයකටම යෑමට ඒමට මග ඇහිරී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඉන්දියාවේ දාලිත්වරුන් යනු හින්දු සමාජයේ කුලයෙන් පහත්ම පිරිසකි. ඔවුන්ට උසස් කුලයක අයෙකු පානය කරන කෝප්පයකින් පානය කිරීමට හෝ ඔවුන් වතුර ගන්නා ලිඳකින් වතුර ගැනීමටවත් අවසරයක් හිමි නොවෙයි.

වත්මන් ඉන්දීය ව්‍යවස්ථාවේ නිර්මාතෘ අම්බෙඩ්කාර් තුමන්ද දාලිත් කුලයෙන් පැවත ආ අයෙකු වන අතර, එවක පැවති කුල භේදයට එරෙහිව යමින් ලක්ෂ සංඛ්‍යාත හින්දූන් පිරිසක් සමග බුදු දහම වැළඳගත් ඔහු ඉන්දියාව තුළ මහා පෙරළියක් සිදුකළේය.

කෙසේ වෙතත්, මේ වනවිට යළිත් ඉන්දියාවේ හින්දු සමාජය බලවත්ව ඇති නිසා මෙම කුල ප්‍රශ්නය යළිත් උග්‍ර වී තිබේ.

මේ හේතුවෙන්, බොහෝ දාලිත්වරුන් අදද බුදු දහම වැළඳ ගනිමින් සිටින බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.

Read more

Local News