පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට යතුරු පැදි ලබාදීමට තීරණයක් – සෞඛ්‍ය අැමති

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමය සංවිධානය කළ කලුතර දිස්ත්‍රික්කයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේ,

වෘත්තීය සමිති ගැටලු විසදීමේ දී අමාත්‍යාංශය විසින් ගනු ලබන තීන්දු තීරණ පසු විපරම් කිරීම වෘත්තීය සමිතිවල වගකීමක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා, “පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ නිල ඇදුම වෙනස් කිරීමට යෝජනා වී තිබෙනවා. ඊට මම අනුමැතිය ලබාදුන්නා. මට නම් හිතෙන්නේ දැනට පවතින නිල ඇදුමත් හොදයි. නමුත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් රාජකාරී කටයුතු සදහා යතුරු පැදි වලින් ගමන් කිරීමේ දී ගැටලු මතුවන බව පෙන්වාදීමත් සමග නිල ඇදුම වෙනස් කිරීමට තීරණය කළා. අද වන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1500 කට යතුරු පැදි හිගයි. එම අයට යතුරුපැදි ලබාදීම පිළිබද වාර්තාවක් සකස් කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලබන තීන්දු තීරණ පසු විපරම් කිරීම වෘත්තීය සමිතිවල කාර්ය භාරයක්. අමාත්‍යාංශය තීන්දු තීරණ ගත් පමණින් එය ක්‍රියාත්මක වන්නේ නැහැ. නිදහස් සෞඛ්‍ය සේවාව ගමට ගෙනයාම සදහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විධිමත් කාර්ය භාරයක් ඉටු කරනවා. ක්ෂේත්‍රයේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් නිවැරදි සෞඛ්‍ය පණිවුඩ ජනතාවට ලබාදිය යුතුයි.

එම නිසයි ඔබගේ සේවය ගෞරවයට පත්ව තිබෙන්නේ. ක්ෂේත්‍රයේ රාජකාරි නිවැරදිව සිදු කරන්න. සෞඛ්‍ය සේවාවේ දත්තයන් ඉහළ ගොස් ඇත්තේ ඔබගේ සේවාව තුලින්. ඊට ගරුත්වය ගෙන ආවේ ඔබයි. අපේ රටේ සෞඛ්‍ය බලධාරීන්ට මෙම ගරුත්වය තේරෙනවා ද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් ලෝක සෞඛ්‍ය බලධාරීන් නම් අපේ රටේ සෞඛ්‍ය සේවාව විශිෂ්ඨ සේවාවක් බව පිළිගන්නවා. මෙම සේවාව අනෙක් රටවලට ආදර්ශයක්. වෘත්තීය සමිති ගැටලු සාකච්ඡාවෙන් විසදා ගන්න පුලුවන්. එක නායකත්වයක් යටතේ ගැටලු විසදා ගනිමින් ඉදිරියට ගමන් කරනවා.”

Read more

Local News