රාජ්‍ය දැව සංස්ථාවේ 50 වන සංවත්සර උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

Share

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (04) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති රාජ්‍ය දැව සංස්ථාවේ 50 වන සංවත්සර උත්සවය අමතමින් ප්‍රකාශ කළේ,
වන සම්පත රැක ගනිමින් මෙරට වන ඝනත්වය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සදහා මෙරටට අවශ්‍ය දැව පිටරටින් ගෙන්වීම වඩා ශක්තිමත් කළයුතු බවයි.
රටට මුහුණදීමට සිදුව ඇති කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ මෙරට වන ඝනත්වය ඉහළ නංවා ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා 28 ක්ව පවතින මෙරට වන ඝනත්වය 32 දක්වා ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කය බවත් එහිදී රාජ්‍ය දැව සංස්ථාවේ දායකත්වය ඉතා වැදගත් බවත් කියා සිටියේය.
සංස්ථාව මගින් මහා භාණ්ඩාගාරයට ලබාදෙන මුදල් මෙන්ම පැළ සිටුවීම, පැල තවාන සහ වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් දැනට වඩා වැඩි ආයෝජනයක් සිදුකිරීමේ වැදගත්කම ද පැහැදිළි කළ ජනාධිපතිතුමා එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සමීප සබදතාවයකින් කටයුතු කළයුතු බව ද සදහන් කළේය.
එමෙන්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදන අංශයේ පවතින තරගකාරිත්වයට මුහුණදීම සදහා රාජ්‍ය දැව සංස්ථාව සිය ප්‍රමිතීන් සහ ගුණාත්මකභාවයන් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
රාජ්‍ය දැව සංස්ථාවේ වසර 30 ක සේවා කාලය සපිරූ දැනට සේවය කරන සහ විශ්‍රාමික සේවක සේවිකාවන් ඇගයීමට ලක් කරමින් රන් තිළිණ පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.
එමෙන්ම සේවක සේවිකාවන්ගේ, විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ දරුවන් වෙත ශිෂ්‍යත්ව ලබාදීම සංකේතවත් කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
රාජ්‍ය දැව සංස්ථාවේ, අඩ සිය වසක පිය සටහන්, සමරු ග්‍රන්ථය මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර, රාජ්‍ය දැව සංස්ථාවට වසර 50 ක් සපිරීම වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දරය තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ උපහාර තිළිණයක්  පිළිගැන්වීය.

Read more

Local News