මේ වසරේ ගතවූ කාල සීමාව තුල දිවයිනපුරා ඩෙංගු රෝගීන් 14,000ක් – 65%ක අඩුවීමක්

Share

2018 වර්ෂයේ ගතවූ කාල සීමාව තුල දිවයිනපුරා ඩෙංගු රෝගීන් 14,000 ක් පමණ වාර්තා වී ඇති අතර, එය 2017වර්ෂයේ එම කාලය හා සැසදීමේදී, 65% ක අඩුවීමකි.

මෙම තත්වය තවදුරටත් අවම කරගැනීම සහ නිරිත දිග මෝසම් වැසි සමයත් සමග ඇතිවිය හැකි ඩෙංගු වසංගත තත්වය වළක්වා ගැනීමේ අරමුණින් ජාතික මදුරු මර්දන සතියක්, 2018 අප්‍රේල් 03 – 09යන දින වල මුළු දිවයිනම ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයසහ ඩෙංගු මර්දනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වේ.

එහිදී දිවයින පුරා ඩෙංගු වැඩි අවදානම් සෞඛ්‍යවෛද්‍ය නිලධාරි කොට්ටාශ 58ක දින 7ක්ද, අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ 111ක දින 5ක්ද වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, අප්‍රේල් 07ත් වන සෙනසුරාදා දිනය පාසල් පරිශ්‍ර පරීක්ෂා කිරීම සදහාද, 08වන ඉරිදා දිනය ප්‍රජා දායකත්වයෙන් සිදුකරන ශ්‍රමදාන කටයුතු සදහාද වෙන්කොට ඇත.

ජාතික මදුරු මර්දන සතිය සදහා දිනකට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බලකායේ සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම් සාමාජිකයන් 10,000ක් සිය සහභාගීත්වය ලබාදේ.

ඕනෑම අයෙකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හට ගැනීම හා රුධිර වහන තත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබා ගන්නා මෙන් ජාතික ඩෙංගු මර්දන ඒකකය උපදෙස් දෙයි.

Read more

Local News