අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත්වීම නිසාවෙන් රජයත් එක්සත් ජාතික පක්ෂයත් ශක්තිමත් වූණා – අමාත්‍ය සාගල රත්නායක

Share

ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඊයේ (05) ප්‍රකාශ කළේ, අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත්වීම නිසාවෙන් රජයත් එක්සත් ජාතික පක්ෂයත් ශක්තිමත් වූ බවත් ඒ තුළින් ජය ගමන ඇරඹූ බවත් ය.

විශ්වාසභංගයේ ප්‍රතිඵලය මොකද්ද කියල අපි දැනගෙන හිටියා. එකේ ප්‍රතිඵලය තව හොඳ කරගන්න අපි මහන්සිවෙලා කටයුතු කළා. අපිට පුළුවන් වුනා විශ්වාසභංගය නිසා සැවොම එකමුතු කරගන්න. ඒක රටට ඉදිරියේදී විශාල ශක්තියක් වෙනවා. දැන් විශ්වාසභංගය ඉවරයි දැන් ආයිත් කාලේ ඇවිත් තියෙන්නේ වැඩකරන්න. අවුරුදු පහෙන් තුනක් ගිහිල්ල තව දෙකයි තියෙන්නේ. පළවෙනි තුන අමාරු අවුරුදු තුන සාමාන්‍යයෙන් ඒ අවුරුදු තුනේ තමයි සැලසුම්කිරීමේ කටයුතු සිදුකරන්නේ, මුදල් ප්‍රශ්නවලට යොමුවෙන්නේ, බදු ප්‍රතිපත්ති සකස් කරන්නේ, රටේ අදායම් මාර්ග ටික නිවැරදි කරගන්නේ. දැන් ඉදිරි කාලයේ කරන්නට තියෙන්නේ ජනතාවගේ ජිවිත යහපත් කරන්න ඉතුරු කටයුතු ටික සිදුකරන්න. ඒ වැඩකටයුතු කරන්න පසුබිම හැදිලා තියෙන්නේ.

මම අර කිව්වා වගේ එකමුතුකමින් කටයුතු කරන නිසා. 2015 ජනවාරි මාසයේ වගේම 2015 අගෝස්තු මාසෙත් ජනතාව ජන්දය ලබාදුන්නේ එකතුවෙලා වැඩකරන්න. එක අපේ වගකීමක්. එය ඉටුකරන්න අපි බැඳිලා ඉන්නවා. පසුබිමේ යම් වෙනස්කම් ටිකක් කරන්න අවශ්‍ය වෙනවා. ඒ ටික වෙනස් කරගෙන අපි වැඩකරන්න කටයුතු කරනවා. නැත්නම් ඊළඟ අවුරුදු දෙකෙන් පස්සෙත් ජනතාව අපිට පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලයම ලබාදෙන්න කටයුතු කරාවි. අපේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අපිට විශාල ශක්තියක් වුණා. ජනතාවට බලපාන්නාවූ ප්‍රශ්න විසඳීම තමයි දැන් අපි කරන්නම ඕන. රජයක් පැමිණි මුල් කාලයේදී ජනතාව ඉවසනවා. දැන් හරි වැඩ පටන් ගන්න. දැන් ජනතාව වැඩ බලාපොරොත්තු වෙනවා, අපිත් ඒ වැඩකරන්න සුදානමින් ඉන්න ඕන. පක්ෂයක් වශයෙන් අපි ශක්තිමත් වෙලා එකමුතුව වැඩකරන්න තමයි අපේ අපේක්ෂාව තියෙන්නේ. පක්ෂයක් වශයෙන් ශක්තිමත් වෙනවා වගේම රජයක් වශයෙන් ශක්තිමත් වෙන්නත් අපිට විශ්වාසභංගය අපිට සෑහෙන්න ශක්තියක් වුණා. අතිගරු ජනාධිපතිතුමා එක්කත් හොඳ බැදීමකින් යුතුව කටයුතු කරන්න තමයි අපි ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ.

අපි ආණ්ඩු බලයට පත්කරපු පක්ෂ යාන්ත්‍රනය රැකගන්නවා වගේම අපි රටටත් වැඩක් කරන්න ඕන.ඒ දෙකම ඉටුවෙන්න ඕන. අපි පක්ෂ යාන්ත්‍රනය රැකගැනීම අත්‍යවශ්‍යයි. මේ ලැබුණු අවස්ථාවෙන් අපි ඔවුන්ට වැඩකටයුතු කරලා දීල පක්ෂ යාන්ත්‍රනය රැකගන්න ක්‍රියාකළ යුතුයි. පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුත් මේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල සාකච්ජා කරලා ඉදිරියේදී සිදුකරලා ජයග්‍රාහී ගමන ආරම්භ කරනවා.

Read more

Local News