ජනාධිපතිවරයා ලෙස තමන් රටට වගකිව යුතුයි – වගකීම් ඉටුකිරීම්දී රජය ශක්තිමත් කිරීමට බැඳී සිටිනවා

Share

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවති හමුව අමතමින් අවධාරණය කළේ,

ජනාධිපතිවරයා ලෙස තමන් රටට වගකිවයුතු අතර, එම වගකීම් ඉටුකිරීම්දී රජය ශක්තිමත් කිරීමට බැඳී සිටින බවයි.

එහිදී රට සහ මහජනතාව වෙනුවෙන් කිසිදු බෙදීමකින් තොරව රටට ආදරය කරන සියලුදෙනාගේ සහය ලබා ගන්නා බව පැවසූ ජනාධිපතිතුමා රටට වගකියන ජනාධිපතිවරයෙකු ලෙස රජය දුර්වලවීමට කිසිසේත් ඉඩ නොතබන බව ද අවධාරණය කළේය.

පාර්ලිමේන්තුවේ පවතින මන්තී‍්‍ර ධුර සහ එක් එක් දේශපාලන පක්ෂවල ව්‍යුහය අනුව සියලුදෙනා එක්වීම තුළ මිස කිසිදු දේශපාලන පක්ෂයකට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ නොමැති බව ද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය. රජය ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින ඕනෑම අයෙකුට රජය සමග එක්විය හැකි අතර, ඒ වෙනුවෙන් තමා සියලුදෙනාට ආරාධනා කරන බවත්. එම සියලුදෙනා සමග රජය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාමට තමා කැපවන බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මෙම දිනවල සිදුකෙරෙන පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් පත්කර ගැනීමේ කටයුතු පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ මහජනතාවගේ ඡන්දයෙන් ජයග‍්‍රහණය කළ දේශපාලන පක්ෂ පරාජය කර විරුද්ධ පක්ෂවලට එහි බලය ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙන අතර මැතිවරණ ක‍්‍රමයේ තිබෙන මෙම විකෘතිභාවය හේතුවෙන් ජනමතය යටපත්වීමක් සිදුවන බවයි.

එහිදී පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය වීම අත්‍යාවශ්‍ය වන බව පැවසූ ජනාධිපතිතුමා ඒ තුළින් ජනතාව ඡන්දය ලබාදුන් දේශපාලන පක්ෂවලට පමණක් පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අවකාශ හිමිවන බව ද කියා සිටියේය.

එමෙන්ම මෙවර පළාත් පාලන ආයතන සඳහා පත්ව තිබෙන මන්තී‍්‍රවරුන් 8000 කට වැඩි විශාල සංඛ්‍යාව කිසිසේත් රටට යහපත් තත්ත්වයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, පළාත් පාලන ආයතන පනත සංශෝධනය කිරීම තුළින් දැනට පත්ව සිටින මන්තී‍්‍රවරුන්ගේ නිල කාලය අවසන් වූ පසු ඊළඟ මැතිවරණයේදී මෙම සංඛ්‍යාව සියයට 50 කින් අඩු කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බව ද සඳහන් කළේය.

රජයේ නව බදු අයකර ගැනීම් පිළිබඳ ඇතැම් සමාජ වෙබ් අඩවිවල පළවන අසත්‍ය වාර්තා පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ රජයේ සේවකයින්ගේ වැටුපෙන් හෝ විශ‍්‍රාමිකයින්ගෙන් කිසිදු බදු අය කර ගැනීමක් සිදුකිරීමට රජය සැලසුම් කර නොමැති බවයි. අමාත්‍යාංශ ලේකම්වරයෙකුගේ සිට අවසාන කම්කරුවා දක්වා කිසිවෙකුගේ බැංකු තැන්පතුවලින් කිසිදු ආකාරයේ බදු අයකිරීමක් සිදු නොවන අතර, යම් කිසි පුද්ගලයෙකුගේ ගිණුමකින් මාසික පොලිය වශයෙන් රු 125,000කට වැඩි මුදලක් ලැබේනම් ඉතිරිකිරීමේ තැන්පතු සඳහා පනවා ඇති නව බදු ක‍්‍රමය කි‍්‍රයාත්මකව පවතින බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම පසුගියදා සිදුවූ මහනුවර සිදුවීමේදී රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ලබාදුන් සහය මෙහිදී කෘතවේදීව සිහිපත් කළ ජනාධිපතිතුමා ගැටුම් ඇතිවීම වළක්වමින් සාමකාමී පරිසරයක් ගොඩනැගීමට සියලුදෙනා ලබාදුන් සහය අගය කරන බව ද කියා සිටියේය.

මෙම අපේ‍්‍රල් 30 වනදාට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනයට සමගාමීව අපේ‍්‍රල් 30 වනදා සිට 06 වනදා දක්වා සතිය බෞද්ධාගමික කටයුතුවල වර්ධනයට මුල්තැන දෙමින් කටයුතු කිරීම සඳහා ජාතික වෙසක් සතිය ලෙස ප‍්‍රකාශයට පත්කර තිබෙන අතර ඒ පිළිබඳව ද මාධ්‍ය ප‍්‍රධානීන් දැනුවත් කළ ජනාධිපතිතුමා මැයි පළමුවැනිදාට යෙදෙන කම්කරු දින සැමරුම මැයි 07 වනදා පැවැත්වීම පිළිබඳ රජය සිදුකර ඇති ඉල්ලීමට සියලුදෙනාගේ සහය හිමිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

Read more

Local News