සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳව සැළකිල්ලක් දක්වන ජනතාවගේ පහසුව සඳහා වැඩපිළිවෙලක්

Share

සෞඛ්‍ය සම්පන්න ආහාර පිළිබඳව සැළකිල්ලක් දක්වන ජනතාවගේ පහසුව සඳහා වෝටර්ස් ඒඡ් හෝටලය නිරෝගී ආහාරවේලක් සැපයීමේ වැඩපිළිවෙල සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් පරිශ්‍රයේ දී ආරම්භ කරන ලදි.

මේ සඳහා උනන්දුවක් දක්වන පුද්ගලයින් සඳහා වෝටර්ස් ඒඡ් හෝටලය අමතා ලියාපදිංචි විය හැක. හෝටලය විසින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සුදුසුකම් ලත් පෝෂණවේදියෙකු හා සම්බන්ධ වී තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ අවශ්‍යතාවය අනුව සම්පුර්ණ ආහාරපාන සැළැස්මක් නිර්මාණය කරනු ලබයි. අවශ්‍ය ආහාර වේලක් නිර්මාණය කර ගැනීමෙන් පසු ආහාරපාන නිවසටම ගෙනවිත් දීම සිදු කරනු ලබයි. හෝටලයේ සිට කිලෝමීටර් 10 ක දුරක පිහිටි ස්ථාන වෙත මෙම සේවාව සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.

ඊට අදාල ගිවිසුම් හුවමාරුව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතා අතර සිදු විය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා උත්සවය අමතමින් කියා සිටියේ, “බෝනොවන රෝග ගෝලීය ප්‍රශ්නයක් ශ්‍රී ලංකාව ද එම අභියෝගයට මුහුණ දී සිටිනවා. ලොව පුරා බෝනොවන රෝග වලින් මියයන සංඛ්‍යාව සියයට 65 ක් පමණ වෙනවා. ඔවුන්ගෙන් බහුතරය අවුරුදු 60 ට අඩු අයයි. ශ්‍රී ලංකාව මේ වන විට බෝවන රෝග පාලනය කර තිබෙනවා. බෝනොවන රෝග පාලනයේ දී පෝෂණය සහ ආහාර ඉතාම වැදගත්. දුම්බීම පාලනය කිරිම සදහා විධිමත් ක්‍රියාකාරකම් රැසක් පසුගිය වසර 03 තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කළා. ඉදිරියේ දී පාසල් අවට මීටර් 100 ක් දුරින් දුම්වැට් අලෙවි කිරිම තහනම් කරනවා. දුම්වැටි අලෙවිය සම්බන්ධයෙන් වූ දැන්වීම් පළ කිරීමත් තහනම්. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම තහනම් කර තිබෙනවා. දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද සියයට 80 ක් ප්‍රදර්ශණය කරන අතර, ඉතිරි සියයට 20 සුදු පැහැයෙන් පමණක් තබන ලෙසට වූ නියෝග ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සහ තනි සිගරට්ටුව අලෙවි කිරීම තහනම් කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පසුගිය අගහරුවා දා මම ඉදිරිපත් කළා. මුදල් අමාත්‍යාංශය සතියක කාලයක් අධ්‍යයනය කිරිම සදහා අවසර ඉල්ලා සිටියා. වසර 2020 වනවිට දුම්කොළ වගාව ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට ද පියවර ගන්නවා.”

“සිනි භාවිතය අවම කිරීමට ද කටයුතු කර තිබෙනවා. කෝපී පානය කිරීමේ දී වුව ද සීනි අවම මට්ටමින් භාවිත කළ යුතුයි. පසුගිය රජය වෙනස් කළේ ද කෝපි බීලයි. කට පරිස්සම් කර ගැනීම තුළින් ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගන්න පුලුවන්. මෙම පෝෂ්‍යදායි ආහාර ලබාදීමේ වැඩපිළීවෙල අනෙකුත් හෝටල්වල ද දියත් කිරීමට සුදුසු බව යෝජනා කරනවා. එමගින් අපිරිසිදු ආහාර ජනතාව වෙත ලැබීම වැළැක්විය හැකියි.”

Read more

Local News