ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන උපන්දිනය ශ්‍රී ලංකාවේ දී සැමරේ

Share

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන ලෝක සෞඛ්‍ය දිනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ නෙලුම්පොකුණ රගහලේ දී ඊයේ (07) පෙරවරුවේ පැවැත්විණි.

මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Dr Tedros Adhanom Ghebreyesus මහතා සහ දකුණු සහ නැගෙනහිර ආසියානු රටවල අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් චෙට්ට්‍රපාල් සිං මහත්මිය ද සහභාගි වී සිටියහ.

මෙම උත්සවය අමතා අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,
අද දිනය ඓතිහාසික දිනයක් ශ්‍රී ලංකාවේ ගෞරවය හා අභිමානය ඉහළ නැංවිම සදහා ලෝක සෞඛ්‍ය දිනය සැමරීම ඉතා වැදගත් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස එය මා ලද ගෞරවයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන උපන්දිනය ශ්‍රී ලංකාවේ දී සැමරීමට ගත් තීරණය අගය කළ යුතුයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු රැස්වීම පසුගිය ජනවාරි මාසයේ දී ජීනීවා නුවර දී පැවැත්වුණා. එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ කළාපීය අධ්‍යක්ෂවරිය මේ පිළිබදව සාකච්ඡා කළා. මෙවර තේමාව වන්නේ විශ්වීය සෞඛ්‍ය ආවරණය යන්නයි. මෙම තේමාව යටතේ ලෝක සෞඛ්‍ය දිනය සැමරීමට සුදුසුම රට ශ්‍රී ලංකාවයි. වෙනත් කිසිදු රටක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා. පසු දින පැවැති විධායක කමිටු රැස්වීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම තීරණය ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවේ දී ලෝක සෞඛ්‍ය දිනය සැමරිමට තීරණය කළ බව නිවේදනය කළා. මම මේ පිළිබදව ශ්‍රී ලංකාවට පැමිණි පසු ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඔහු ඉතා සතුටට පත්වුණා.
එම උත්සවය සංවිධානය කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෙටි කාලයක් තුල විශාල ප්‍රගතියක් අත්පත් කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ සදහා ජනාධිපතිවරයා ලබාදුන් දිරිගැන්වීම සහ උපදෙස් අගය කළ යුතුයි. තව ද අග්‍රාමාත්‍යවරයා තමාට සාධාරණත්වය, යුක්තිය වෙනුවෙන් නොවෙනස්ව විශ්වාසනීය උපදේශකවරයෙකු ලෙස සහයෝගය ලබාදෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාලරයා ශ්‍රී ලංකාව උණුසුම් ලෙස පිළිගන්නවා. කළාපීය අධ්‍යක්ෂවරිය ද පිළිගන්නා අතර ඇය ශ්‍රී ලංකාවේ සැබෑ හිතවතියක්.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගත්විට හොද සෞඛ්‍ය ආවරණ පද්ධතියක් තිබූ බවට සාක්ෂි තිබෙනවා. පැරණි රාජධානි තුල සංවිධානාත්මකව රෝහල් පද්ධතිය සකස් කර තිබුනා. විශේෂ අවධානයක් ඒ සදහා යොමු කර තිබුනා. මානසික සහ අධ්‍යාත්මික සුවය රෝගීන්ට ලබාදෙන අයුරින් සෞඛ්‍ය සේවාව ලබාදුන්නා. මහාවංශය සහ අනෙකුත් වාර්තාවන්ට අනුව මාතෘ හා ළමා රැකවරණය කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබුනා. අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කළ අතර, සුසාන භුමි ඉදිකිරීමේ දී ද මහජන සෞඛ්‍ය සේවාවන් දෙස අවධානය යොමු කළා. අපේ ජනතාවගේ සෞඛ්‍ය කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ශ්‍රී ලාංකිකයින්ගේ සම්ප්‍රධායික ආචාරය පුද කරන්නේ ආයුබෝවන් කියලයි. එමගින් දිර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
දකුණු ආසියාවේ අනෙකුත් සෞඛ්‍ය පද්ධති සමග ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය විශාල වෙනස්කමක් තිබුනේ නැහැ. නමුත් 1930 දශකයේ දී සෞඛ්‍ය සේවාව ප්‍රතිසංවිධානගත කෙරුනා. ප්‍රාථමික සෞඛ්‍ය ඒකක ස්ථාපිත කළ අතර, මාතෘ හා ළදරු සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරමින් සෞඛ්‍ය පිළිබද විශ්වීය රැකවරණය කෙරෙහි අපි සාර්ථකව අවධානය යොමු කර තිබෙනවා. සෞඛ්‍ය ආවරණය හා කැපවිම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය ඉහළම ස්ථානයක තිබෙනවා. සමහර සංවර්ධිත රටවල් හා සමාන තත්ත්වයක් ලබා ගැනීම අප ලැබූ ජයග්‍රහණයක්.
මැලේරියාව, බරවා, සරම්ප වැනි රෝග තුරන් කර තිබෙනවා. මාතෘ හා ළදරු මරණ අනුපාතය අවම කර ගැනීමටත් ප්‍රතිශක්තීකරණය 100 % සාර්ථක කර ගැනීමටත් ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා. සාක්ෂරතාවය සියයට 95 ක් වන අතර, ආයු අපේක්ෂාව වසර 75 ඉක්මවනවා. 1930න් පසු නිදහස් ඡන්ද අයිතිය, නිදහස් අධ්‍යාපනය, වැනි  ප්‍රතිපත්ති හදුන්වා දුන් අතර, නිදහස් සෞඛ්‍ය සේවා 1940 සිට ආරම්භ කෙරුනා. සෞඛ්‍ය ඉළක්ක සපුරා ගැනීමේ අරමුණින් රජයේ අනුග්‍රහය මත සෞඛ්‍ය සේවාවන් විධිමත්ව පවත්වාගෙන යනවා. උපතේ සිට මරණය දක්වා සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සදහා ශික්ෂණ, මහා, මුලික, දිසා සහ ග්‍රාමිය රෝහල් පද්ධතියක් අප සතුයි. එම රෝහල් පද්ධතිය තුල රජයේ මැදිහත්වීමෙන් ප්‍රතිකාර සේවා සිදු කරනවා. පෞද්ගලික රෝහල් සේවාව ද ක්‍රියාත්මකයි.
අත්‍යාවශ්‍ය සහ බහුලව භාවිත කරන ඖෂධ වර්ග 48 ක මිල අවම කර ජනතාවට විශාල සහනයක් ලබා දී තිබෙනවා. ඇතැම් ඖෂධ වර්ග වල මිල සියයට 300 දක්වා අඩු කර තිබෙනවා. හෘද රෝගීන් සදහා නොමිලේ ස්ටෙන්ස් සහ අක්ෂි කාච සැපයීම, පිළිකා රෝගීන් සදහා සීමාවකින් තොරව ප්‍රතිකාර ලබාදීම වැනි රෝගී සත්කාරක සේවාවන් මා විසින් ආරම්භ කිරීමට පියවර ගත්තා. එය වසර 2020 වනවිට පුර්ණ ක්‍රියාකාරිත්වයට පත්වනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. ඉතාමත් අඩු වියදමක් යටතේ ශ්‍රී ලංකාව හොද සෞඛ්‍ය සේවාවක් ලබාදෙනවා. එහිදී බෝනොවන රෝග අභීයෝගයක් වී තිබෙනවා. සෞඛ්‍ය රක්ෂණාවරණය එම අභියෝගයට මුහුණු දෙන අයුරින් සකස් කරනවා. දුම්බීම පාලනයට විශේෂ වැඩසටහන් රැසක් දියත් කර ඇති අතර නීතිරීති පද්ධතියක් මත එය ක්‍රියාත්මක වෙනවා.
වර්ණ සංකේත ක්‍රමයක් හදුන්වා දෙමින් සීනි භාවිතය අවම කිරීමට කටයුතු කළා. මේ සියලු ක්‍රියාකාරකම් අධ්‍යාපනය සහ සන්නිවේදනය මත ප්‍රවර්ධනය කරනවා. යුද්ධය නිමා කිරීමෙන් පසු සෞඛ්‍ය සේවාව ස්ථාපිත කළ අතර, සුනාමි ව්‍යවසනයෙන් පසු විනාශ වූ සෞඛ්‍ය සේවාව ගොඩනැංවීමට රජය කටයුතු කළා. කාලගුණික වෙනස්වීම් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. තොරතුරු සහ දත්ත රැස් කිරිම මගින් තින්දු තීරණ ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මානව සම්පත ඉහළ නංවා තිබෙනවා. පවුලේ වෛද්‍යවරයා සංකල්පය ප්‍රවර්ධනය කරමින් ජනතාවගේ 5000 කට එක් වෛද්‍යවරයෙක් බැගින් පත් කිරීමේ අවශ්‍යතාවය සැළසුම් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ශ්‍රී ලංකාව ශක්තිමත් සබදතාවයක් ගොඩනගා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගෙන ඇති ක්‍රියාමාර්ග ගෝලීය සෞඛ්‍ය සේවාවේ දැනුමට එකතු කිරීමට අපට හැකියාව ලැබෙනවා. අපේ සෞඛ්‍ය සේවාවේ පවතින දුර්වල තැන් පිළිබදව හදුනාගැනීමට හා අත්දැකීම් ලබාගැනීමටත් සෞඛ්‍ය සමුලු ඉතා වැදගත් වෙනවා.
ශ්‍රී ලාංකිකයින්ට විශ්වීය සෞඛ්‍ය ආවරණය ලබාදීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය සහ ශක්තිමත් දායකත්වය අපි බලාපොරොත්තු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සුවිශේෂි දැක්මක් සහිත නායකයෙක්. ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සාමාජිකයෙක් ලෙස ගෝලීය අදහස් හුවමාරු කර ගන්නවා. වර්තමානයේ මතුව ඇති නව සෞඛ්‍ය තර්ජන වලට මුහුණ දීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානය  ශක්තිමත් විය යුතු බව මගේ අදහසයි. එමගින් අභීයෝග ජයගැනීමට හැකියාව ලැබෙනවා.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ගවේෂණය සදහා වූ ආචාර ධර්ම, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව නගා සිටුවීමේ ක්‍රමෝපායන් සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනය යන කෘති 03 ද මෙහිදී එළිදක්වන ලදි. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඊ-හෙල්ත් කාඩිපත හදුන්වාදීම ද මෙහිදී සිදු කෙරිනි. ප්‍රථම කාඩි පත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් ජනාධිපතිවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි. තව ද ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කරන ලදි.

Read more

Local News