උත්සව සමයේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පාලනයට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් විශේෂ වැඩපිළිවෙළක්

Share

උත්සව සමයේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පාලනයට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයෙන් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා ලංකා ධීවර සංස්ථාවට උපදෙස් දෙනු ලැබුවේ, වෙළෙඳපොලේ කූඨ ව්‍යාපාරිකයින් විසින් සිදු කරන පාරිභෝගිකයින් ගසා කෑම වැළැක්වීම සඳහා පියවරක් වශයෙන් මත්ස්‍ය මිල ගණන් ඉහළ දැමීම පාලනයට පියවර ගන්නා බවයි.

ඒ අනුව උත්සව සමයේ විශේෂයෙන් අප්‍රේල් මාසය පුරාම මත්ස්‍ය වර්ග 04ක මිල ගණන් පහත දැමීමට ලංකා ධීවර සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලින්නා, තලපත්, බලයා හා ඉස්සන් යන මත්ස්‍ය විශේෂවල මිල ගණන් පහත දමා ඇති අතර එම සහන මිල ගණන් යටතේ අවශ්‍ය තරම් මාළු ලංකා ධීවර සංස්ථා අලෙවිසල්වලින් මිල දී ගත හැක.

නව සහන මිල යටතේ ලින්නා මාළු කිලෝ ග්‍රෑම් 01ක් රු. 250, බලයා කූරියා වශයෙන් මාළු කිලෝ ග්‍රෑම් 01ක් රු. 350ක් හා කපන ලද බල මාළු කිලෝ ග්‍රෑම් 01ක් රු. 550, තලපත් කිලෝ ග්‍රෑම් 01ක් රු. 720, හා ඉස්සන් කිලෝ ග්‍රෑම් 01ක් රු. 890කටත් අලෙවි කෙරේ.

සාමාන්‍යයෙන් උත්සව සමයේ ඉස්සන් කිලෝවක් රු. 1300-1800 දක්වාත්, තලපත් කිලෝව රු. 1200-1450 දක්වාත් ඉහළ යයි. එම නිසා මත්ස්‍ය මිල ගණන් ඉහල යාම පාලනය කිරීම සඳහා ලංකා ධීවර සංස්ථාව මෙම පියවර ගෙන තිබේ.

Read more

Local News