අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් – අමාත්‍ය අකිල විරාජ්

Share

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, සිංහල අලුත් අවුරුද්දට පෙර කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් එකඟතාවකට පැමිණ ඇති බවයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) කොළඹ ඒ මහතාගේ නිල නිවසේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය.

විශ්වාසභංගයේදී අගමැතිවරයාට එරෙහි ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 16 දෙනා කැබිනට් මණ්ඩලයේ හෝ අමාත්‍ය තනතුරු දැරිය නොහැකි බවත් ඒ සඳහා ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද ඇමැතිවරයා කීය. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට ඡන්දය දී ආපසු එතුමාගේ කණ්ඩායමෙන් යුතුව කටයුතු කිරීම සිදු නොවිය යුතු බවත් පෙන්වා දුන් බව ඇමැතිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරයා සමග සිදු කළ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (09) රැස්වෙන බවත් ඊට පසුව මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවත් ජනාධිපතිවරයා කියා සිටියේ යැයිද ඇමැතිවරයා පැහැදිලි කළේය.

ශ්‍රීලනිපයේ එම ඇමැතිවරුන් 16 දෙනාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පසු පෙළ මන්ත්‍රීවරුන් ගෙන ආ විශ්වාසභංගය තාවකාලිකව නතර කිරීමට තීරණය කළේ එය පක්ෂයේ තීරණයක් අනුව ගෙන ආ එකක් නොවන නිසාත් අවශ්‍ය වුවහොත් එය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ, පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ තීන්දුවක් ලෙස ගෙන ආයුතු නිසා යැයි අදහස් ඉදිරිපත්වු බවද පැවසු ඇමැතිවරයා ජනාධිපතිවරයා සමග කළ සාකච්ඡාවේදි ජනාධිපතිවරයා සිය පක්ෂයේ මධ්‍යම කාරක සභාව සමග ගන්නා තීන්දුව අනුව ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂය පක්ෂයක් ලෙස විශ්වාසභංග යෝජනාව පිළිබඳ තම තීරණය ගන්නා බව කියා සිටියේය.

Read more

Local News