හම්බන්තොට ධීවර, ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා ඉන්දීය රජයෙන් රු. මි. 300ක උපකරණ

Share

හම්බන්තොට ධීවර හා ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය උදෙසා ඉන්දීය රජය විසින් රු. මි. 300ක අවශ්‍ය උපකරණ බෙදා දීම ඊයේ (09) සිදුවිය.

මෙම උපකරණ බෙදා දීමේ නිල උත්සවය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිංග් සන්දු යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි. හම්බන්තොට නෝනාගම සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙම උපකරණ බෙදා දීම සිදු විය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමක් පරිදි මෙම උපකරණ ලබා දී තිබු අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් අදාල කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබීය.

මෙම උත්සවයේදී අදහස් පළ කළ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිංග් සන්දු මහතා, ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දීය රජය විසින් විවිධ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. රුහුණු විශ්වවිද්‍යාලයේ ඉදිවන මහත්මා ගාන්ධි අනුස්මරණ ශ්‍රවණාගාරය, මාතර සිට කළුතර දක්වා දුම්රිය මාර්ගය නවීකරණය, නැණසල නමින් ඊ- පුස්තකාල ලබා දීම, හා හම්බන්තොට අත්කම් ප්‍රදර්ශන ගම්මානයක් ඉදි කිරීම ඒ අතරින් ප්‍රධාන වෙනවා.

ඒ වගේම දකුණේ වගේම උතුරේත් අපි සංවර්ධන කටයුතු රැසක් ක්‍රියාත්මක කළා. මං හිතනවා ශ්‍රී ලංකාව අපේ රටේ දීර්ඝකාලීන මිත්‍රයෙක්. ඒ නිසා ඉදිරියටත් ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙනවා.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අපේ රටට රටවල් විශාල ප්‍රමාණයක් සංවර්ධන කටයුතු සඳහා මුදල් ලබා දෙනවා. නමුත් ඒවා සියල්ලම ණය වශයෙනුයි දෙන්නේ. නමුත් ඉන්දිය රජය අපිට මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙන්නේ ණය මුදලක් වශයෙන් නොවෙයි. ඉන්දීය රජය අපිට සහයෝගය ලබා දෙන්නේ මුල්‍යාධාර වශයෙන්. ඒවායින් වැඩි ප්‍රමාණයක් ණය නොවෙයි. පසුගිය කාල සීමාව තුළ ඉන්දීය රජය අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා රටේ සංවර්ධනය සඳහා ඉතාමත් ඵලදායක.

අද මෙම උපකරණ ලබා දෙන්නේ ගොවි හා ධීවර පවුල්වල ජීවනෝපාය සංවර්ධනය වෙනුවෙන්. තමන්ගේ පවුලේ ආදායම් මාර්ග නංවාලීමට නම් මේ උපකරණ භාවිතා කර යම් යම් ව්‍යාපෘති ආරම්භ කළ හැකියි. අපි දන්නවා සමහරු මේ වගේ උපකරණ ලැබුණාම ඒවා විකුණනවා. එහෙම කරන්න එපා. මේ උපකරණ ලබා දුන්නාට පසුව ඒවායින් නිසි පරිදි ප්‍රයෝජන ගන්නවාද කියා අපි සොයා බැලීමක් කරනවා යැයිද අමාත්‍යවරයා කීය.

Read more

Local News