ජනපති මෛත්‍රී සහ නේපාල අගමැති හමුව

Share

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමරිකාවට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ නේපාල අග‍්‍රාමාත්‍යවරයා අතර හමුවක්  ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21) රාත්‍රි නිව්යෝර්ක් නුවරදී පැවැත්වුණු අතර එහිදී නේපාල අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ සාර්ක් සංවිධානයේ කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම සුවිශේෂී වන අතර ඒ පිළිබඳ සියලු සාර්ක් කලාපීය රටවල ස්තූතිය එතුමා වෙත පිරිනැමෙන බව නේපාල අග‍්‍රාමාත්‍ය ෂෙර් බහදුර් දෙඋබා මහතා (Sher Bahadur Deuba) සඳහන් කළේය.

දකුණු ආසියානු කටයුතු පිළිබඳව එක්ව කටයුතු කිරීමට ඇති පොදු සංවිධානය වන සාර්ක් සංවිධානයේ කටයුතු අඛණ්ඩව ගැටලුවකින් තොරව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා සාර්ක් සංවිධානයේ කටයුතු ශක්තිමත් කර ගැනීම පිළිබඳ තමා පසුගියදා ඉන්දියාවේ මෙන්ම පකිස්ථානයේ නායකයින් හමුවූ අවස්ථාවල ද සාකච්ඡා පැවැත්වූ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ නේපාලය අතර ද්විපාර්ශ්වික සබඳතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සෑම ක්ෂේත‍්‍රයක් තුළින්ම තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු වූහ.ඒ අනුව දෙරට අතර ආර්ථික, වෙළෙඳ මෙන්ම ආගමික සහ සංස්කෘතික සබඳතා ද නව ප‍්‍රවේශයෙන් ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ශී‍්‍ර ලංකාවට අවශ්‍ය සෑම අවස්ථාවකම සහය දැක්වීමට සූදානම් බව මෙහිදී අවධාරණය කළ නේපාල අග‍්‍රාමාත්‍යවරයා මානව හිමිකම් පිළිබඳ කටයුතුවලදී ද සෑම විටම නේපාලය ශී‍්‍ර ලංකාවට සහය ලබාදුන් බව ප‍්‍රකාශ කළේය.

පසුගියදා නේපාලයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදුවූ පීඩාකාරී තත්ත්වය පිළිබඳව මෙහිදී සිය කණගාටුව පළ කළ ජනාධිපතිතුමා මිත‍්‍ර රාජ්‍යයක් ලෙස එම අවස්ථාවේ නේපාලයට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට ශී‍්‍ර ලංකාව කටයුතු කළ බව ද සඳහන් කළේය.

එම අසීරු අවස්ථාවේදී සැබෑ මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව නේපාලයට ලබාදුන් සහය පිළිබඳ ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළ නේපාල අග‍්‍රාමාත්‍යවරයා සාර්ක් කලාපය තුළ ඉතා වැදගත් රටවල් දෙකක් සේම ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන මිත‍්‍ර රාජ්‍යයන් දෙකක් ලෙස අද මෙම හමුවීම පිළිබඳ ඉතා සතුටට පත්වන බව ද සඳහන් කළේය.

 

Read more

Local News