අගෝස්තු මාසයේ උද්ධමනය ඉහළට

Share

ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සඳහන් කරන්නේ 2017 ජූලි මාසයේ 6.3%ක් වූ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2017 අගෝස්තු මාසයේදී 7.9%ක් දක්වා වැඩි ව ඇතැයි ද ඒ සඳහා 2016 අගෝස්තු මාසයේ පැවැති අඩු මිල මට්ටම් හේතු වී ඇති බවයි.

මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ උද්ධමනය සඳහා ආහාර කාණ්ඩයේ 5.3%ක හා ආහාර නොවන කාණ්ඩයේ 2.7%ක දායකත්වයක් පිළිවෙළින් ලබා දී ඇත. එහෙත් 2016 අගෝස්තු මාසයේ ආහාර කාණ්ඩයේ මිල ගණන් සාපේක්‍ෂව අවම මට්ටමක පැවතීම නිසා එම මාසයේ උද්ධමනය සඳහා මෙම එක් එක් කාණ්ඩයේ දායකත්වය පිළිවෙලින් 1.8%ක් හා 2.6%ක් විය.

කෙසේ නමුත් ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස්වීම සංසන්දනය කළ විට, 2017 ජූලි මාස‍යේ 122.4 ක් වූ දර්ශක අගය 2017 අගෝස්තු මාසයේ 122.3ක් දක්වා පහළ යාමක් වාර්තා විය. පසුගිය මාසය හා සංසන්දනය කළ විට 2017 අගෝස්තු මාසයේ දර්ශකාංක 0.1ක අඩුවීමක් හෝ 0.1ක ප්‍රතිශතකාංක අඩුවීමක් ලෙස වාර්තා විය. මෙම මාසික වෙනස්වීමට ආහාර කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.25%කින් අඩුවීම හා ආහාර නොවන කාණ්ඩයේ වියදම්වල වටිනාකම 0.16%කින් වැඩිවීම බලපා ඇත.

 

 

Read more

Local News