ජනපතිට ලන්ඩන් නුවරදී උණුසුම් පිළිගැනීමක්

Share

ලන්ඩන් නුවරදී පැවැත්වෙන 2018 පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා, ලන්ඩන් නුවර හීත්‍රෝ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

අනතුරුව ජනාධිපතිතුමා නවාතැන් ගන්නා ලන්ඩන් නුවර හෝටලයේදී එරට ශ‍්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩලය විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබීය.

රටවල් 53 ක නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව 16 සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා ලන්ඩන් නුවරදී පැවැත්වෙන අතර, මෙවර එහි තේමාව “පොදු අනාගතයක් වෙත” යන්නයි.

සෞභාග්‍යය, සුරක්ෂිතබව, සාධාරණත්වය, තිරසරබව යන අංශ යටතේ පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල අරමුණු සාක්ෂාත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වනු ඇත.

අපේ‍්‍රල් 21 වනදා දක්වා සිදු කෙරෙන ජනාධිපතිතුමාගේ නිල සංචාරය අතරතුර ජනාධිපතිතුමා බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරිය වන තේරේසා මේ මහත්මිය හමුවීමට ද නියමිත අතර, පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවන රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

මෙම රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට අමතරව ජනාධිපතිතුමා විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යාපාරික සංසදය ඇමතීමට ද නියමිතය.

පොදු රාජ්‍ය මණ්ඩල කි‍්‍රඩා සම්මේලනයට මෙන්ම බි‍්‍රතාන්‍ය මහ රුජිණගේ 92 වන ජන්ම දිනය නිමිත්තෙන් පැවැත්වෙන විශේෂ සැමරුම් උත්සවයකට ද ජනාධිපතිතුමා සහභාගීවනු ඇත.

Read more

Local News