ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් නව ධූරයේ කටයුතු ආරම්භ කරයි

Share

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස නීතිඥ සිසිර කොඩිකාර මහතා ඊයේ (17) සිය නව ධූරයේ කටයුතු ආරම්භ කළේය.

කොඩිකාර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි. අධ්‍යාපන පරිපාලන සේවයට එක්ව නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ ඒ මහතා පසුව රාජ්‍ය පරිපාලන සේවයට එක් වූයේය. ආර්ථික විද්‍යාව පිළිබඳවත් තොරතුරු තාක්ෂණය පිළිබඳවත් පළාත් පාලනය පිළිබඳවත් පශ්චාද් උපාධි තුනක් කොඩිකාර මහතාට ඇත. ගාල්ල දිසාපති ධූරයට පත්වීමෙන් ඔහු නීතිඥවරයකු ලෙස දිවුරුම් දුන්නේය. කොඩිකාර මහතා පුත්තලම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙසත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යකෂවරයකු ලෙසත් කටයුතු කර ඇත.

ඉන් අනතුරුව මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යකෂවරයකු ලෙස සේවය කළ හෙතෙම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලෙස පත්ව බස්නාහිර පළාත් වැඩබලන ප්‍රධාන ලේකම් ලෙසත් කටයුතු කර ඇත.

ජනාධිපති අතිරේක ලේකම්වරයකු ලෙස ජනාධිපති මහජන සම්බන්ධතා අංශය භාරව සිටි ඒ මහතා ජනපතිට කියන්න සේවාව ආරම්භ කිරීමට විශාල කාර්යය භාරයක් ඉටු කළේය. එම සේවාව යටතේ දිවයිනේ සියළුම රාජ්‍ය ආයතන රාජ්‍ය සේවයේ ගැටළු විසඳීම සඳහා තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය හඳුන්වා දීමටද කොඩිකාර මහතා මූලික වී කටයුතු කළේය.

එම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් නීල් ද අල්විස් මහතා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරී නිලධාරිනියන් රැසක් එක්ව සිටියහ.

Read more

Local News