ජනපති සහ ලන්ඩන් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් අතර හමුවක්

Share

පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ලන්ඩන් නුවර වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් අතර හමුවක් ඊයේ (17) පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලන්ඩන් නුවර වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් අමතමින් පැවසුවේ සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට ඇතැමුන් උත්සාහ දැරීම මාතෘ භූමියේ ඉදිරි ගමනට බාධාවක් වී ඇති බවත්, එබැවින් මාතෘ භූමියේ සැබෑ තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයෙන් යුතුව රට ගොඩනැගීමේ ගමනට සහය වන්නැයි ද ඔවුන්ට ඇරයුම් කළේය.

රට තුළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරමින් රට සංවර්ධනය කරා ගෙන යාමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ නිවැරදි තොරතුරු රටේ ජනතාව අතරට ගලා නොයන බව ජනපති පැවසීය.

ඇතැම් මාධ්‍ය සහ සමාජ වෙබ් අඩවි පටු දේශපාලන අරමුණු සහ වාණිජ අරමුණු උදෙසා සත්‍ය යටපත් කර අසත්‍ය ඉස්මතු කිරීමට උත්සාහ දැරීම එයට ප‍්‍රමුඛ හේතුවක් වී තිබෙන අතර රටේ සියලු ක්ෂේත‍්‍රවලට වත්මන් රජය යටතේ හිමිව ඇති නිදහස ඔවුන් නිසි අයුරින් අවබෝධ කර ගෙන නොමැති බව ද සඳහන් කළේය.

පසුගිය වසර 03 පුරාවට තම ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් ඉටුකළ හැකි උපරිම වගකීම් ඉටුකිරීමට රජය කැපවූ බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා රට තුළ සහජීවනය සහ සංහිඳියාව ස්ථාපිත කර රටට ලැබුණු සාමය ස්ථීර සාර සාමයක් බවට පත්කිරීම එහි ප‍්‍රමුඛ කාර්යයක් බව කියා සිටියේය.

එමෙන්ම රට සංවර්ධනය කරා ගෙනයමින් රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා දියත් කළ ආර්ථික සැලසුම් සාර්ථක ප‍්‍රතිඵල අත්කරගෙන ඇති අතර, මාතෘභූමියට එරෙහි වූ ජාත්‍යන්තරය යළි මාතෘභූමියට සමීප කරමින් ජාත්‍යන්තර වශයෙන් පසුගිය වසර 03 තුළ ලබාගත් ජයග‍්‍රහණ ද සුවිශේෂී බව ජනාධිපතිතුමා කියා සිටියේය.

Read more

Local News