ගනේමුල්ල පාසල් සිසුවියට අධ්‍යාපන අැමතිගේ මැදිහත්වීමෙන් නව ජාතික පාසලක්

Share

විශේෂ රෝගී තත්ත්වයක් ඇති බව පවසමින් සමාජ පීඩනයට ලක් වූ ගනේමුල්ලේ පාසල් සිසුවියට, අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් නව ජාතික පාසලක් සහ දැරියගේ පියාට ද රැකියාවක් හිමි වී තිබේ.

ඒ සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් එම දැරිය අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යොමු කරවීමෙන් අනතුරුවයි. අදාළ පාසල් සිසුවියගේ විශේෂ රෝගී තත්ත්වය ඇති බව පවසමින් ඇයට පාසල් බලධාරීන් විසින් පරිභව කර ඇති බවට ද පසුගිය දා මාධ්‍ය වාර්තා පළ වුනා. එම නිසා ඇයට සිය පාසල ද අහිමි වන තත්ත්වයක් මතුව ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සඳහන් වුණේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ඇතැම් අධ්‍යාපන බලධාරීන් විසින් සිදුකරනු ලබන ක්‍රියා පිළිබඳව තමන් කණගාටුව පළ කරන බවයි. පළාත් පාසල් අධ්‍යාපන බලධාරීන් විසින් පළාත් මට්ටමින් සිදුවන මෙවැනි සිදුවීම් කළමනාකරණය කිරීමට සක්‍රීයව මැදිහත් විය යුතු බවත්, ඒවා ජාතික තලයට ගෙන ඒමට කටයුතු නොකළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙවැනි සිදුවීම් හේතුවෙන් දරුවන් මුහුණ දෙන ගැටලු ද විසඳීමට හැකි වන පරිදි ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බවත්, දිවයිනේ සියලු රජයේ, පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල් එම ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලය තුළින් නියාමනයට ලක් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේය. අදාළ දැරියගේ පියාට ද අධ්‍යාපන සුදුසුකම්වලට අනුව සුදුසු රැකියාවක් ලබා දීමට ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

Read more

Local News