වෛද්‍ය වර්ජන නිසා අසරණ ජනතාවට ඇතිවන පීඩාව හා ජීවිත හානි අති මහත්ය

Share

ශ්‍රී ලංකාවේ ආගමික සහ ජාතික සහජීවනය තහවුරු කිරීම උදෙසා ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු කමිටුව සංවිධානය කළ සර්ව ආගමික සමුළුව අමතමින් අද (19) පාර්ලිමේන්තුවේ දී කතානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ,

ජාතීන් වශයෙන් බෙදුනු රටක් සෑම විටම පිරිහෙන බවත් එවැනි රටකට අනාගතයක් නොමැති බවත් ලෝකයේ දියුණු වූ සෑම රටක් එම ස්ථාවරය ලබා ගත්තේ එම ජාතික සමඟිය උපදවමින් බවයි.

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන සර්ව ආගමික, සර්ව පාක්ෂික සමුළුව ඓතිහාසික ගමනකට, දේශයේ අභිවෘද්ධියට මගපෑදෙන බීජයක් වේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවත් කතානායකවරයා සඳහන් කළේ ය.

වෛද්‍ය වර්ජන නිසා අසරණ ජනතාවට ඇතිවන පීඩාව හා ජීවිත හානි අති මහත්ය. දැනුම් නොදී කරන වර්ජන නිසා ජනතාවට, පාසල් දරුවන්ට ඇති වන පීඩනය සුලුපටු නොවේ. මෙම සිද්ධීන් අප දකින්නේ මිනිසා විසින් මිනිසාගෙන් පලිගැනීමක් ලෙසයි. ලෝකයේ වැඩිම විරෝධතා ඇති රටක් වශයෙන් ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇත. කිසිම වැදගත්කමක් නොමැති කරුණු කීපයක් මුල් කරගෙන කීප දෙනෙකුට අද පාර මැද ටයර් පුච්චමින් සම්පූර්ණ ගමනාගමනය පැය ගණනකට බාධා කළ හැකිය. අප එය දැන් දකින අලුත් රටාවකි. එවැනි සිදුවීම් මහා පරිමාණ ලෙස හුවා දැක්වීමට සූදානම් ජාත්‍යන්තර මාධ්‍යය පැය ගණනක් තුළ ලෝකයටම එම කරුණු අනාවරණය කිරීම නිසා අපේ රට වියවුල් සහගත රටක් ලෙස ලෝකය පුරාම ප්‍රචලිත වෙනවා. එවැනි රටකට සංචාරකයෝ පැමිණේද? ආයෝජකයෝ පැමිණේද? මෙය අප විසින් වහා නිම කළ යුතු පිළිලයකි.

අද රටක් වශයෙන් ආර්ථිකය විශාල වශයෙන් පසුබා ඇත. එයට හේතුව අපේ රටේ ඇතිවූ ජාති ආගම් හා දේශපාලන භේද නිසයි. අප නිදහස ලබන විට ජපානයත් අප රටත් අතර දළ ජාතික ආදායමේ වෙනස එක් ඩොලරයක් පමණි. අද වෙනස ගව් ගණනින්. ලෝකයේ වැඩිම නිවාඩු ඇත්තේ අපේ රටෙහිය. ලෝකයේ විශාලතම රාජ්‍ය සේවය ඇත්තේ අපේ රටේය.

මෙම කරුණු පිළිබඳව අපෙන් පසුව මෙම රට භාර ගන්නා පරම්පරාව තුළ හැඟීමක් ජනිත කිරීමේ පදනම මෙතැනින් ඇති කළ හැකි යැයි මා දැඩිව විශ්වාස කරනවා. ජාතික ආගමික සමගිය, රට පිළිබඳ හැඟිම, පරාර්ථකාමීත්වය, විනය, මනුෂ්‍යත්වය මේ සියල්ල අධ්‍යාපනික, ආගමික සංස්ථාවන් තුළින් දරුවන් තුළ ජනිත කරවීම සඳහා විශේෂ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි.

Read more

Local News