තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රධානතම අරමුණයි – ජනපති

Share

පොදු රාජ්‍ය මණ්ඩල විධායක සභාව පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව ඊයේ (19) පස්වරුවේ ලන්ඩන් නුවර ලැන්කැස්ටර් හවුස් හිදී පැවැත්වුණු අතර එහිදී අදහස් දක්වමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේ,

තිරසර අනාගතයක් උදාකර ගැනීම අන් රටවල මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද ප‍්‍රධානතම අරමුණක් බවයි.

පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවට සහභාගී වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මැතිණිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබුවාය.

දූපත් රාජ්‍යයක් ලෙස, මතු පරපුරෙහි ප‍්‍රයෝජනය උදෙසා, භූමිය, වනාන්තර, ගංගා සහ සමුද්‍රය සඳහා තිරසර අනාගතයක් සාක්ෂාත් කර ගැනීමට ශ‍්‍රී ලංකාව විශේෂ උනන්දුවකින් කටයුතු කරයි.

භූගෝලීය වශයෙන් ශ‍්‍රී ලංකාව උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටා තිබෙන අතර, ලෝකයේ ආර්ථික බලවේගයක් බවට ආසියා කලාපය පත්වෙමින් තිබෙන අවධියක ශ‍්‍රී ලංකාව විසින් ස්වකීය විශේෂ ස්ථානීය වාසිය සහ කේන්ද්‍රීය පිහිටීම උපයෝගී කරගෙන ප‍්‍රාග්ධන උත්පාදන උදෙසා විශේෂ අවධානයක් යොමුකරමින් සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

දරිද්‍රතාවෙන් මිදීම, රැකියා උත්පාදනය, සමානාත්මතාව ප‍්‍රවර්ධනය සහ තිරසර සංවර්ධනය යනාදී ඉලක්කයන්ට ළඟාවීම සඳහා අපගේ ජනතාවට, අපගේ සාගර කලාපයේ අවශ්‍ය ප‍්‍රතිලාභ ලබාදිය හැකි අතර එය ස්ථාවර සහ තිිරසර අනාගතයක් ළඟා කර ගැනීමට ඇති මාර්ගය බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එක්සත් රාජධානිය විසින් යෝජිත ‘පිරිසිදු සාගර සඳහා වූ ගිවිසුම’ වෙනුවෙන් පූර්ණ සහයෝගීතාවය දැක්වීමට ශ‍්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින අතර, එවන් පසුබිමක ‘පොදු රාජ්‍ය මණ්ඩලීය නීල ප‍්‍රඥප්තිය’ සතුටින් පිළිගනු ලබන්නේ සාගරය පොදු වගකීමක් සහ පොදු මානව උරුමයක් ලෙස ඒකාබද්ධ ප‍්‍රයත්නයන් මගින් සුරක්ෂිත කර ගැනීමට බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තිරසර අනාගතයක් සඳහා වූ ශ‍්‍රී ලංකාවේ අරමුණ වන්නේ කිසිවෙකු අත් නොහැරෙන විශ්වාසනීය බවකින් සහ ප‍්‍රබෝධයෙන් යුතුව සියලු දෙනාටම එකට නැගී සිටීය හැකි සහ ප‍්‍රගතිය ළඟා කරගත හැකි ඉලක්කයන් සපුරා ගැනීම බවයි.

 

Read more

Local News