GSP සහනය ලැබීමෙන් පසු මෙරට මත්ස්‍ය අපනයනය සඳහා 15% පමණ බදු සහනයක්

Share

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ අප්‍රේල් මස 22 දිනට පසුව මෙරටට GSP සහනය ලබා දීමට ඇමරිකා එක්තසත් ජනපදය තීරණය කිරීමත් සමඟ ඉන් වැඩිම ප්‍රගතියක් ධීවර හා ජලජ සම්පත් ක්ෂේත්‍රයට අත්වන බවයි.

එය මෙරට මත්ස්‍ය අපනයනය සඳහා විශාල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වන අවස්ථාවක් බව, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

පසුගිය වසර තුනකට වඩා වැඩි කාලයක් මෙරටට GSP සහනය නොලැබීම නිසා, සමස්ත අපනයන ආදායම්හි විශාල පසුබෑමක් දක්නට සිදුවුණි. අපේක්ෂිත ආදායම් නොලැබීම නිසා රටේ ජාතික ආදායම මගින් සංවර්ධනය සඳහා වෙන්කරන මුදල් පවා අඩු කිරීමට රජයට සිදුවිය.

එම නිසා මෙතෙක් අප රටට අහිමි කර තිබු GSP සහනය ලබා දීමට තීරණය කිරීමත් සමග ඇඟලුම් ක්ෂේත්‍රයට පමණක් නොව, විශේෂයෙන් මත්ස්‍ය අපනයනයේ දී ද, විශාල වාසිදායක තත්ත්වයක් අප රටට ලැබී තිබේ. ඊයේ (19) ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් සමග GSP සහනය ලැබීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර, එහිදී අවධාරණය වුයේ, අපේ රටේ මත්ස්‍ය සම්පත අපනයනයේ දී 15% බදු සහනයක් ලැබෙන බවත්, මත්ස්‍ය අපනයනය මගින් අප රටට විශාල ආදායමක් උපයා ගැනීම මෙන්ම, අපනයනය කරනු ලබන මත්ස්‍ය ප්‍රමාණය ඉහළ නැංවීමට හැකි වන බවයි.

පසුගිය වසරේ දී මෙරටින් විදේශ රටවලට මසුන් මෙට්‍රික් ටොන් 18,262ක් අපනයනය කර ඇති අතර, එමගින් අප රටට ලැබුනු ආදායම රුපියල් මිලියන 28,685කි. ඒ අතරින් යුරෝපා හවුලට අයත් රටවලට මෙට්‍රික් ටොන් 4012ක් ද, වෙනත් යුරෝපීය රටවලට මෙට්‍රික් ටොන් 24000 ක්ද, අපනයනය කර තිබේ.

අපේ රටේ මත්ස්‍ය නිෂ්පාදනවලින් සියයට 27කට ආසන්න ප්‍රමාණයක් මිල දී ගන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. කෙසේ වුවද, මෙම 15%ක අපනයන බදු සහනය ලැබීම නිසා මත්ස්‍ය අපනයනය තවදුරටත් ඉහළ නැංවීම තුළින් රටට විශාල විදේශ විනිමයක් ප්‍රමාණයක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කීය.

Read more

Local News