පුත්තලම දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩා විඳි පවුල් 167,000ක් සඳහා රුපියල් මිලියන 485ක ආධාර

Share

පුත්තලම දිස්ත්‍රික්කයේ නියඟයෙන් පීඩා විඳි පවුල් 167,000ක් සඳහා රුපියල් මිලියන 485ක ආධාර මේ වන විට ලබාදී ඇති බවත්, දැනට ආධාර නොලැබූ පිරිස්වල තත්ත්වයන් සොයා බලා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස වැඩිඳුරටත් උපදෙස් ලබා දී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සහ ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
පුත්තලම දිස්ත්‍රික්කයේ වියළි කාලගුණික තත්ත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාවගේ ගැටළු පිළිබඳව සාකච්ජා කිරීම වෙනුවෙන් මෙම විශේෂ රැස්වීම කැඳවා තිබුණි.
නොරොච්චෝල තාප බලාගාරය නිසා වායු ගෝලයට යම් ප්‍රමාණයක් එක් වන අළු තත්ත්වය පාලනය කිරීම සඳහා සුළං බාධකයක් ඉදිකිරීමේ කටයුතු සියල්ල අවසන් කර ඇති බවත් එය කඩිනමින් ක්‍රියාවට නංවන බවත් ඒ හරහා දැනට ඇති වී ගැටළුවට තිරසාර විසදුමක් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුනි.
එමෙන් ම පානීය ජලය ලැබිය යුතු පවුල් 25,000ක් සඳහා පානීය ජලය මේ වන විට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read more

Local News