ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අක්‍රමිකතා පිළිබඳව ජනපතිගේ අවධානය

Share

ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති සන්ධානය සමග අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ,

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතුවලට අදාළ තොරතුරු හා සාක්ෂි සටහන් කර ගැනීම ඉදිරි සති දෙක තුළදී ආරම්භ කිරීමට නියමිත බවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවාව පිළිබද අන්තර්ජාතිකව පවතින පිළිගැනිම ආරක්ෂා කර ගනිමින්, ගුණාත්මක ගුවන් සේවාවක් ලෙස එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වාදුන්නේය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති 06 න් 05 ක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටී අතර, සමාගමේ දැනට පවතින තත්ත්වය සහ මතුව ඇති ගැටලූ විසදාගනිමින් සමාගමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ ඔවුන් දීර්ඝ වශයෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළහ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවාවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය වර්ධනය කරමින් මගීන්ට අභිරුචියකින් සහ ප්‍රබෝධයකින් යුතුව සිය ගමනාන්තය කරා ළගාවීමට හැකි පහසුකම් පුථල් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

එමෙන්ම පසුගිය කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට නව ජනාධිපති කොමිසමක් පත්කරමින් සමාගමේ කටයුතු ක්‍රමවත්ව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම පිළිබද මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පිරිනැමූහ.

Read more

Local News