අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලියෙන් ශ්‍රී ලංකාවට පදක්කම් රැසක්

Share

සර්බියාවේ බෙල්ග්‍රේඩ් නුවර දී අප්‍රේල් මස 19 සිට 25 දින තෙක් පැවති විසිපස්වැනි අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිසුන් තිදෙනෙකු ඉදිරිපත් වූ අතර, ඔවුන් තිදෙනා ම එම තරගවලින් සුවිශේෂ ජයග්‍රහණ ලබාගැනීමට සමත් ව තිබේ.

මෙවර මෙම අන්තර්ජාතික තරුණ විද්‍යාඥයින්ගේ සමුළුව ද්වීතියික පාසල් සිසු සිසුන් අභිමුඛ කරගත් පර්යේෂණ පදනම් වු තරගාවලියක් ලෙස පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකාව, රුසියාව, නෙදර්ලන්තය, ජර්මනිය, ඉන්දුනීසියාව, බ්‍රසීලය, ප්‍රංශය, ඉන්දියාව ඇතුළු ලෝකයේ රටවල් 60ක තරගකරුවන් මෙම තරගාවලියට එක්ව සිටි අතර, තරගාවලිය සඳහා සිසුන් විසින් පර්යේෂණ පත්‍රිකා 215 ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකාව දෙවැනි වතාවට මෙම තරගාවලිය සඳහා සහභාගී වූ අතර, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය නියෝජනය කරමින් සමාෂි විහන්ගා මුණවීර ශිෂ්‍යයාවද, මහනුවර උසස් බාලිකා විද්‍යාලය නියෝජනය කරමින් සවන්දී සේනානායක ශිෂ්‍යයාද, කොළඔ නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් රකිඳු වික්‍රමරත්න ශිෂ්‍යයාද මෙම තරඟය සදහා සිය පර්යේෂණ ග්‍රන්ථ ඉදිරිපත් කරනු ලැබීය.

පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ තරඟය හා පෝස්ටර් ඉදිරිපත් කිරිමේ තරගය වශයෙන් ආකාර දෙකකින් පවත්වන ලද මෙම තරගාවලියෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරින් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම වෙනුවෙන් දිනාගෙන ඇති අතර, පෝස්ටර් ඉදිරිපත් කිරිමේ තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිදෙනාම රන් පදක්කම් දිනාගැනීම සුවිශේෂී කරුණකි.

පෝස්ටර් ඉදිරිපත් කිරීම වෙනුවෙන් (Poster Presentation) ලද ජයග්‍රහණයන්

රකිඳු වික්‍රමරත්න – නාලන්දා විද්‍යාලය – රන් පදක්කම

සමාෂි විහන්ගා මුණවීර – සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලය – රන් පදක්කම

සවන්දී සේනානායක – මහනුවර උසස් බාලිකා විද්‍යාලය – රන් පදක්කම

පර්යේෂණ පත්‍රිකා (Research Presentation) වෙනුවෙන් ලද ජයග්‍රහණයන්

රකිඳු වික්‍රමරත්න – නාලන්දා විද්‍යාලය – රිදී පදක්කම

සමාෂි විහන්ගා මුණවීර – සිරිමාවෝ බණ්ඩාරණායක විද්‍යාලය – ලෝකඩ පදක්කම

සවන්දී සේනානායක – මහනුවර උසස් බාලිකා විද්‍යාලය – ලෝකඩ පදක්කම

Read more

Local News