වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

Share

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (29)යෙදී තිබේ.

තුන්ලොවටම අග්‍රවූ අප මහා බුදුරජාණන්වහන්සේ ලොවට පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ත්‍රිවිධ මංගල්‍යය සිදුවුණේ අද වන් අති උතුම් වෙසක් පුන් පෝය දිනකයි.

ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි.

ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි.

සිද්ධාර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීමයි.

බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරවන ලද්දේ වෙසක් ‍පොහෝ දිනකය. එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක ‍පොහෝ දිනක වීම විශේෂත්වයයි.

විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක ‍පෝහෝ දිනක සිදුවූ බව කියැවෙයි. බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් ‍පෝ දිනකය.

මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය බිංගිරිය දේවගිරි රජමහ විහාරස්ථානයේ දී පැවැත්වෙයි.

වෙසක් දිනයට සමගාමිව හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය සහ අරලියගහ මන්දිරය කේන්ද්‍රකර ගනිමින් බුද්ධ රශ්මි වෙසක් කලාපය ක්‍රියාත්මක වන අතර ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා සහ බෞද්ධ පුරාවස්තු ප්‍රදර්ශනය ද පැවැත්වෙයි.

Read more

Local News