ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මහතාගේ දේහය අද උදෑසන නිදහස් චතුරශ්‍රයට

Share

පසුගිය(29) දින අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු අද (02) දින නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට නියමිතය.

ලෝක පූජිත කලාකරුවෙක් ජාතියෙන් සමුගන්නා මොහොතේ ලංකාවේ සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන්  එතුමන් කරන ලද අනූපමේය සේවයට ගෞරව කිරීමක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආදාහන කටයුතු පැවැත්වෙන අද (02) දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මේ වනවිට කොළඹ ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ එතුමා පදිංචිව සිටි නිවසේ තැන්පත් කර තිබේ.  අද උදෑසන එම නිවසේ දී ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව පෙරවරු 10.00 ට රථ පෙරහැරකින් කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අසළට ගෙන ඒමට නියමිතය. ජාතික චිත්‍රපට සංස්ථාව අසළ දී සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින් දේහයට පුෂ්පෝපහාර දක්වා එතැන් සිට පා ගමනින් නිදහස් චතුරශ්‍රය වෙත පැමිණෙනු ඇත.අද දහවල් 12.00 සිට  එතුමන්ගේ දේහය මහජන ගෞරවය සඳහා නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තැබීමෙන් පසු සවස 3.00 අවමංගල්‍ය උත්සවයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Read more

Local News