2020 ඔලිම්පික් ඉලක්කය සපුරාගැනීම යුද්ධ හමුදා මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩකයා දිරීමත් කරයි

Share

21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මුෂ්ටි ප්‍රහාරක තරඟාවලියේ දී ජයග්‍රහණය ලැබු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකායේ මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර ඊයේ (02) දින යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.

එහිදි ඔහුගේ අනාගත අභිප්‍රායන් මූදුන්පත් කරගැනීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බවට යුද්ධ හමුදාධිපතිවරයා සහතික විය.

ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කෝස්ට් හිදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ජයග්‍රහණය ලැබු ඉංජිනේරු සේවා බලකායේ කෝප්‍රල් ඉෂාන් බණ්ඩාර දිවයිනට පැමිණ දින කිහිපයකට පසු සැරයන් නිලයට උසස් කරනු ලැබීය.

මූෂ්ටි ප්‍රහාරක ක්‍රීඩක සැරයන් බණ්ඩාර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල – 2018 දී ලෝකඩ පදක්කම හිමි කරගැනීමට ප්‍රථම, ගෙවීගිය වසර තුනේදීම ජාතික ශුරතාවය දිනාගැනීමට සමත් වූ අතර දකුණු ආසියානු මළල ක්‍රීඩා උළෙලේ දී ලෝකඩ පදක්කමක් ද දිනාගැනීමට සමත් විය.

මෙහිදි යුද්ධ හමුදාධිපතිවරයා විසින් සැරයන් බණ්ඩාර හට 2020 ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගිවීමට අවශ්‍ය සියළුම පහසුකම් ලබාදෙන බවත් අවශ්‍ය නම් විදේශගත පුහුණුව වූවද ලබාදීමට හැකියාව ඇති බව පැවසුහ.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූෂ්ටි ප්‍රහාරක කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් මහතාගේ පූර්ණ ආශිර්වාදය ඇතිව 2010 වසරේ සිට මේ දක්වා යුද්ධ හමුදාව ඔහුගේ පුහුණුවීම් කටයුතු සඳහා රුපියල් මිලියන 3 ක පමණ මුදලක් වැය කරමින් උස්බෙකිස්තානය, නෙදර්ලන්තය, යුක්රේනය, කසකස්තානය, පෝලන්තය සහ පින්ලන්තය යන රටවල පුහුණු කටයුතු සඳහා යොමු කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කීර්තියක් අත්කරදෙමින් ජාත්‍යන්තර තරඟාවලියක දී මූෂ්ටි ප්‍රහාරක ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට සමත් වූ පළමු වතාව ද මෙය වේ. මෙහිදි යුද්ධ හමුදාධිපතිවරයා විසින් සැරයන් ජේ.ඒ.සී. ලක්මාල් මහතාට එම ස්ථානයට ළඟාවීමට උනන්දු කරවූ ඔහුගේ පුහුණුකරු බළලත් නිලධාරි ඓ සම්පත් ජයතිලක මහතටද සිය කෘතඥතාවය පුද කළහ.

Read more

Local News