ජපාන අගමැතිගේ විශේෂ නියෝජිත පිරිස ජනපති හමුවෙයි

Share

ජපාන අග‍්‍රාමාත්‍ය සින්ෂෝ අබේ මහතාගේ විශේෂ උපදේශක Dr. Hiroto Izumi මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඊයේ (04) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවිය.

ජනාධිපතිතුමාගේ ජපාන නිල සංචාරයේදී ජපාන අග‍්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී සඳහන් කෙරුණු කරුණුවලට අදාළව ශ‍්‍රී ලංකාව තුළ දියත් කිරීමට නියමිත ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ සොයාබැලීම සහ අධ්‍යයනය කිරීම වෙනුවෙන් මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණ තිබේ.

සිය ජපාන සංචාරයේ දී ජපාන රජය තමන් වෙත දැක්වූ ඉහළ ගෞරවය සහ උණුසුම් පිළිගැනීම පිළිබඳ ජපාන රජය වෙත සිය ස්තූතිය පළ කිරීමට ද ජනාධිපතිතුමා මෙය අවස්ථාවක් කර ගත්තේය.

වරාය සංවර්ධනය, ඩිජිටල්කරණය සඳහා සහයෝගීතාවය, බලශක්ති, සංචාරක, සෞඛ්‍ය, යටිතල පහසුකම්, සමුද්‍රීය ආරක්ෂාව යන ක්ෂේත‍්‍රවලදී ශ‍්‍රී ලංකාවට ලබාදෙන සහය තවදුරටත් ඉහළ නැංවීමට ජනාධිපතිතුමාගේ ජපාන නිල සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස ජපාන රජයේ කැමැත්ත පළ කෙරුණු අතර ඒ සඳහා ගතයුතු ඉදිරි පියවර පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

ඉදිරියේදී මතුවිය හැකි විදුලි අර්බුදය මගහරවා ගැනීම වෙනුවෙන් දියත් කෙරෙන බලශක්ති ව්‍යාපෘතින්හි කටයුතු කඩිනමින් නිම කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා නියෝජිත පිරිස වෙත පෙන්වා දුන්නේය.

ජපාන රජයේ ආධාර ඇතිව සිදුකෙරෙන ත‍්‍රිකුණාමල වරාය සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර නැගෙනහිර පළාතේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය. කලාපයේ සමුද්‍රීය ආරක්්ෂාව වෙනුවෙන් ජපාන රජය ශ‍්‍රී ලංකාවට ලබාදෙන සුවිශේෂි සහය ද ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

එමෙන්ම කලාපීය වශයෙන් විශාල තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටියේය.

මෙම සියලු ව්‍යාපෘති සාර්ථකව කි‍්‍රයාවට නැංවීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර සූදානම් කරන බව ජනාධිපතිතුමා මෙහිදී නියෝජිත පිරිස වෙත සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනචි සුගනුමා මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Read more

Local News