වසවිසෙන් තොර කාබනික ගොවිතැනක් – මහින්ද අමරවීර මහතා

Share

නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසු පළමු වරට කෘෂිකර්ම අමාත්‍යංශය විසින් ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉළක්ක කරගනිමින් ලබන සතියේ ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව අමාත්‍යවරයා වශයෙන් තමන් වසවිසෙන් තොර කාබනික ගොවිතැන නැංවීම සඳහා වන ප්‍රථම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

දැනට ශ්‍රී ලංකාවේ කාබනික ගොවිතැන යටතේ ගොවීන් 3801 දෙනෙක් වී වගා කරන අතර ඔවුන් විසින් කාබනික ගොවිතැන යටතේ වගා කරන කුඹුරු අක්කර ප්‍රමාණය 4955කි. සාම්ප්‍රධායික දේශීය වී වර්ග රැසක් මෙම ගොවීන් විසින් වගා කරන අතර එම වී වලින් සකසා ගන්නා ලද සහල් සඳහා දේශීය වෙලෙඳ පොලේ ඉහළම මිලක් පවතී.

කාබනික වගාව සඳහා අප රටේ ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් ඉදිරිපත් කෙරෙන මෙම කැබිනට් පත්‍රිකාව මගින් කාබනික වගාව සඳහා යොමුව සිටින ගොවීන්ට පොහොර වෙනුවට ඔවුන් දිරිමත් කිරීම සඳහා මුල්‍යමය ප්‍රතිපාදන ලබා දීමට තීරණය කර තිබේ. සෙසු ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දුන්නත් කාබනික වගාවේ නියුක්ත ගොවීන් රසායනික පොහොර භාවිතා නොකරන හෙයින් ඔවුන්ට වගා කටයුතු වෙනුවෙන් මුල්‍යමය ප්‍රතිපාදන ලබා දීම තම අරමුණ බව අමාත්‍යවරයා කීය.

Read more

Local News