ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

38

ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බලකායේ උසස් නිලධාරීන් සහ ඉන්දියානු වෙරළ ආරක්ෂක බලකායේ උසස් නිලධාරීන් අතර පැවැත්වූ තෙවන මාණ්ඩලික සාකච්ඡාව සඳහා සහභාගී වූ ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්, වයිස් අද්මිරාල් රාජේන්ද්‍ර සිං මහතා ඊයේ (09) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය. එහිදි නාවික සම්ප්‍රදායනුකූලව විශේෂ සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමීය. බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

ඉන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා සහ ඉන්දිය වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා අතර ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහඳ කථාබහක නිරත වූ අතර, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ඔවුන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා සහ ශ්‍රී ලංකා‍වේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා ද සහභාගීවි සිටියහ.