ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර සංචාරක කටයුතු ඉහළ නැංවීමට පියවර

Share

පුළුල් පරාසයකට අයත් ද්විපාර්ශ්වික සහ ගෝලීය වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සර්බියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා විදේශ කටයුතු අමාත්‍ය ඉවිකා දාචිච් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා අතර සාකච්ඡාවට බඳුන් වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ආයෝජන අවස්ථා, විශේෂයෙන්ම, කෘෂිකාර්මික, ආහාර සැකසුම්, හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා, අධ්‍යාපන, ක්‍රීඩා, ප්‍රවාහන හා සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීම සහ සර්බියාව හා ශ්‍රී ලංකාව අතර ඇති වීසා ලබාගැනීමේ ක්‍රමය වඩාත් ලිහිල් කිරීම පිළිබඳව ව්‍යුහාත්මක ආකාරයෙන් ඉදිරි මං සොයා බැලීම සඳහා දෙරටේ විදේශ අමාත්‍යාංශ අතර කෙරෙන උපදේශනවල දෙවැනි වටය හැකි ඉක්මනින් පැවැත්වීමට අමාත්‍යවරු දෙපළ එකඟ වූහ.

රටවල් දෙක අතර කෙරෙන සංචාරක කටයුතු ඉහළ නැංවීමේ විශේෂ අරමුණෙන් යුතුව ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර ගුවන් සේවා ගිවිසුමකටද අත්සන් තැබිණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාද සර්බියාව වෙනුවෙන් අමාත්‍ය ඉවිකා දාචිච් මහතාද එම ගිවිසුමට අත්සන් තැබූහ.

ශ්‍රී ලංකාව සහ සර්බියාව අතර ඉතා සමීප මෙන්ම ඓතිහාසික සබඳතාවක් පවතින අතර, අනාගතයේදී දෙරට අතර ඇති වන සහයෝගීතාව, පුද්ගලාන්තර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, වෙළෙඳ සබඳතා තර කිරීම මෙන්ම අන්තර්- රාජ්‍ය මට්ටමෙන් වඩාත් ප්‍රබල හවුල්කාරීත්වයක් ගොඩනගාගැනීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

Read more

Local News